Latest News

ශ්‍රී ලංකාව පුරා ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරමින්,“ TVET සම්මන්ත්‍රණය සහ සම්මාන ප්‍රදානෝත්සවය 2023“ පැවැත්වේ

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිපුණතා අංශයේ සංවර්ධන වැඩසටහන (SSDP), සමෘද්ධිමත් සහ ප්‍රත්‍යස්ථ (ඔරොත්තු දෙන) ආසියාව සහ පැසිෆික් කලාපයක් සඳහා වූ ජපන් අරමුදල (JFPR) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ සහයෝගයෙන්, “පුද්ගලික අංශය සඳහා නව්‍ය ප්‍රවේශයන් ප්‍රදර්ශනය කිරීම සහ ශ්‍රී ලංකාවේ TVET අංශයේ කාන්තා සවිබල ගැන්වීමේ”  ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා එක්ව කටයුතු කරයි.

තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව (TVET) ලබා දීමෙන් සහ සාම්ප්‍රදායික නොවන සහ නැගීඑන අංශවල සහභාගීත්වය ප්‍රවර්ධනය කරමින් පුද්ගලික අංශය සම්බන්ධ කර ගනිමින් කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ. එහිදී, කාන්තා කළමනාකාරණ ආයතනය (Women in Management – WIM) සමඟ සහයෝගීතාවයෙන් යුතුව, මෙම ව්‍යාපෘතිය තුළින් දිවයින පුරා දිස්ත්‍රික්ක 14ක සිටින තරුණ ග්‍රාමීය කාන්තා ව්‍යවසායකයන් හඳුනාගැනීම සහ අගය කිරීම සම්මන්ත්‍රණ හා සම්මාන ප්‍රදානෝත්සවයන් හරහා සිදුවිය.

ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් දිරිමත් කිරීම සහ දිරිගැන්වීම සඳහා TVET සම්මන්ත්‍රණය සහ සම්මාන ප්‍රදානෝත්සවය 2023 මාර්තු 22 වැනි දින කොළඹ ගලදාරි හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, පෞද්ගලික අංශයේ ප්‍රධානීන් සහ රාජ්‍ය අංශයේ පාර්ශ්වකරුවන් මෙම අවස්ථාවට එක්වූහ. මෙම සමුළුව අතරතුර රැකියා සහ ව්‍යවසායකත්වය සඳහා වන ගෝලීය වෙළෙඳපොළ ප්‍රවණතා පිළිබඳව ප්‍රමුඛතම ව්‍යාපාර නායකයන් ගණනාවක් සාකච්ඡා කළහ. TVET වැඩසටහන යටතේ පසුගිය වසර හතර තුළ ඔවුන් ලබා ඇති ප්‍රගතිය වෙනුවෙන් ඔඪෑඔ තරුණ ප්‍රතිලාභීන් 49දෙනෙකු මෙහිදී ඇගයීමට ලක්වීමද එහිදී සිදුවිය.

ව්‍යාපෘතිය සහ සම්මාන ප්‍රදානෝත්සවය පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ පවසා සිටියේය., “ TVET අධ්‍යාපනය, ඉල්ලූම මත පදනම් විය යුතුයි. ඒ වගේම, TVET පුහුණුව සපයන්නන් කර්මාන්තයේ ගතිකත්වයට ප්‍රතිචාර දැක්විය යුතුයි. විශේෂයෙන්ම වෘත්තිකයන්ගේ ලෝකයට ගැළපෙන වඩාත් දක්ෂ ශ්‍රම බලකායක් සැපයීම වෙනුවෙන්, පරිසරයේ වෙනස්වීම්වලට වඩා ප්‍රතිචාර දැක්වීමට පුහුණුව සපයන්නන් සඳහා අප පහසුකම් සපයනවා.“ යැයි පවසා සිටියේය.