විශේෂාංග

එකවර එකම ගෙදරට ඒ සාමාර්ථ දහඅටක් ගෙනා නිවුන් සොයුරියෝ

එකවර එකම ගෙදරට ඒ සාමාර්ථ දහඅටක් ලැබුණහොත් ඒ ගෙදර සාමාජිකයන්ට දැනෙන සතුට ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. 2020 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පමුදිනී සහ සමුදිනී යන නිවුන් දැරියන් ලෝභ නැතිව ඒ සතුට තම දෙමාපියන්ට තිළිණ කළේ ඒ දෙදෙනාද එකිනෙකාට නොදෙවෙනි බව පෙන්වමිනි.

මේ අපූරු දැරියන් දෙදෙනා ගැන අසන්නට ලැබුණේ මහියංගනය ඇලැවෙල ගම්මානයෙනි. මේ කතාවේ අක්කා ඩී.එස්.පමුදිනී විජේමාන්න ය. නංගී ඩී.එස්.සමුදිනී විජේමාන්න ය. ඔවුන් උපතින් අක්කා නගෝ වූයේ විනාඩි දෙකක පමණ වෙනසකිනි.

කුළුඳුළේ පැතූ දරු පැතුම සඵල වෙමින් දරු දෙදෙනෙක්ම තෑගි ලැබුණු පසු ඒ අම්මාගේත් තාත්තාගේත්, ජීවිතයේ සියලු බලාපොරොත්තු ගොඩනැගුනේ ඔවුන් වටාය. දරුවන්ගේ දස්කම් විස්කම් කවර තරාතිරමක වුව දෙමාපියන්ගේ දෙනෙතට සතුටු කඳුළු ගෙනදෙයි. ඒ සතුට ගැන පළමුව කතා කළේ, මහියංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස කටයුතු කරන පමුදිනී හා සමුදිනීගේ අම්මා වන ලංකා ලක්මාලි රත්නායක ය.

ඇත්තටම ලොකු සතුටක් හිතට දැනෙනවා. එයාලා පොඩි කාලේ ඉඳලම දක්ෂයි. එයාලට පාඩම් වැඩ නිදහසේ කරගෙන යන්න පුළුවන් තරමේ පරිසරයක් ගෙදර තිබුණා. පාඩම් වැඩ සාමාන්‍ය පරිදි කරගෙන ගියා. කොරෝනා නිසා සෑහෙන දවසක් පාසල් යන්න නොලැබුණත් ඔන්ලයින් පන්තිවලට සහභාගී වුණා. ඇත්තටම දහඅටක් එකවර ලැබුණ සතුට අපි අද භුක්ති විඳිනවා.

පමුදිනී දුව ශිෂ්‍යත්වය සමත් වුණේ ලකුණු 167ක් අරගෙනයි. සමුදිනී දුව ලකුණු 157ක් අරගත්තා. එයාලා දෙන්නා විෂය කටයුතුවලට විතරක් නෙමෙයි, කථික තරඟ, සාහිත්‍ය තරඟවලිනුත් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඒ වගේම දහම් පාසල් යනවා. ඒ සෑම විෂයකටමත් ඒ දෙන්නා සාමාර්ථ ගන්නවා.”

ඇය කියන්නේ සිත උතුරා යන සතුටකිනි. රාජකාරී කටයුතු අතර තමන් කාර්යබහුල වන වුවත්, තම මව තමන් සමඟ විසීමත්, දරුවන්ගේ කටයුතු සොයා බැලීමත් සහනයක් වූ බව ඇය කියයි. ඇයත්, පෞද්ගලික අංශයේ රැකියාවක නියැලෙන සැමියාත් නිවසේ නැති අවස්ථාවල දරුවන්ගේ ආදරණීය භාරකාරයා අත්තම්මාය.

ඒ වාගේම පමුදිනීත්, සමුදිනීත් තමන්ගේ වැඩකටයුතු කරගන්නේද තනිවමය. කාමරය පිළිවෙලට, ලස්සනට තබාගැනීමටත්, ගේ දොර අතුපතු ගා පිළිවෙලට තබාගැනීමටත් ඔවුන් හැකි අයුරින් දායක වෙයි. ඒ සය හැවිරිදි තම කුඩා නැගෙණියටද ආදර්ශයක් වෙමිනි.

ඒ සෑම සියලුදෙනාගේම ආදරණීය සොයාබැලීම්වලට වටිනාකමක් එක්කළ මේ අක්කා නගෝ දෙදෙනාගෙන් අක්කා වූ පමුදිනී ඔවුන්ගේ ජයග්‍රහණය ගැන කීවේ මෙවැන්නකි.

ඇත්තටම ප්‍රතිඵල දැනගත්තු මොහොත අපිට හරිම සතුටක් දැනුණු මොහොතක්. මෙහෙම ප්‍රතිඵලයක් තමයි අපි බලාපොරොත්තු වුණෙත්. අපි සාමාන්‍ය පෙළට පෙනී සිටියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. පාඩම් වැඩ ටික පිළිවෙලට කළා. ගුරුවරුන්ගේ උපදෙස් පිළිපැද්දා. පාඩම් කරන්න විභාගය ළංවෙනකල් හිටියේ නැහැ. නිසා විභාගයට මුහුණ දෙන දවස එද්දී බොහොම නිදහසක් හිතට දැනුණා. මාත් නංගිත් ඇත්තටම හොඳට පාඩම් කළා. විෂය කරුණු ධාරණය කරගත්තා. චිත්‍ර ඇන්දා. අතරේ ගෙදරදොරේ වැඩවලටත් අම්මට පුංචි පුංචි උදව් කළා.”

පමුදිනීගේත් නැගෙණිගේත් ඊළඟ අපේක්ෂාව උසස් පෙළ කඩඉම ජයගැනීමය. ඒ සඳහා ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. ඒ සඳහා ඔවුන් තෝරාගෙන ඇත්තේද දැනට ඉගෙනුම ලබන මහියංගනය ජාතික පාසලමය.

තම යහළු යෙහෙළියන්, ගුරු භවතුන් සේම ආදරණීය පාසල් මවුන් ගැනද ඔවුන් සිතන්නේ ආදරණීයවයි. එය පාසල් මවුන්ටද ගෞරවයකි.

දරුවෙකුගේ ජයග්‍රහණයක් ගෙදරට වාගේම පාසලටද අයිතිය. වසර ගණනාවක් තිස්සේ ප්‍රදේශයේ පාසල් අතර හොඳම ප්‍රතිඵල පෙන්වූ පාසල වන්නේද මහියංගනය ජාතික පාසලයි. එහි විදුහල්පති කේ.ජී.ගාමිණී රාජපක්ෂ මහතා මෙම දැරියන් ඇතුළු පාසලේ සමස්ත ප්‍රතිඵල පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසකි.

ඇත්තටම මේ දරුවෝ දෙන්නා ගැන කිව්වොත්, ඔවුන් පාසලට ලොකු ආඩම්බරයක්, අභිමානයක් අත්කර දුන්නා. ඔවුන් දෙදෙනා විෂය කටයුතුවලට වගේම විෂය සමගාමී කටයුතුවලටත් ඉතා උනන්දුයි. ඒ වගේම ඔවුන් දෙදෙනා ශිෂ්‍ය නායිකාවන් වගේම විනීත ගුණගරුක දැරියන් දෙදෙනෙක් විදිහටත් ගුරුවරුන්ගේ ආදරය දිනාගෙන තිබෙනවා.

පාසලක් හැටියට ගත්තොත් ප්‍රදේශයේ පාසල් අතර හොඳම ප්‍රතිඵල අතරේත් අපේ පාසල ඉදිරියෙන් සිටිනවා. ගියවර ඒ සාමාර්ථ නවයම ගත් සිසුන් නවයක් හිටියා. මෙවර සෞන්දර්ය ප්‍රතිඵල තාම නිකුත් වෙලා නැහැ. චිත්‍ර විෂයේ පමණයි ප්‍රතිඵල ආවේ. ඒ සෞන්දර්ය විෂය ප්‍රතිඵල නිකුත් වුණහම සිසුන් පහළොවක් පමණ සාමාර්ථ නමයම ගනීවි කියන බලාපොරොත්තුවක් තිබෙනවා. මෙවර සිසුන් 217ක් සාමාන්‍ය පෙළට මුහුණ දුන්නා. විභාගය සමත්වීමේ ප්‍රතිශතය 92% මට්ටමේ තියෙනවා.”

විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට, විද්‍යාලයට ලැබෙන ජය තමන්ටම ලැබෙන ජයග්‍රහණයක් තරම් සතුට ගෙනෙන්නකි. දරුවන් නැණ ගුණ සපිරි දරුවන් කරන්නට දෙමව්පියන් හැරුණුකොට කැපවෙන්නේ ගුරුවරුන්ය. වසර කිහිපයක සිට මහියංගන ජාතික පාසල ප්‍රදේශයේ අනෙකුත් පාසල් අභිබවා ප්‍රමුඛයා බවට පත්වන්නේද ඒ කැපවීම නිසාය.

අපි පාඩම් කරා වගේම පොත්පත් කියවනවා. දැනුම සොයාගෙන යන්න කැමැත්තක් තියෙනවා. ඉතින් විභාගයකට මුහුණ දෙන නංගිලා මල්ලිලාගෙන් ඉල්ලන්නේ විෂය කරුණු අතපසු නොකර ඒ දවසට පාඩම් වැඩ කරන්න.”

පමුදිනී කියන්නීය. හෙට දවසේ ඉගෙනුම් කඩඉම් ජයගනිමින්, ජීවිතය ජයගැනීම මේ පුංචි අක්කා නගෝගේ අරමුණය.

ඒ බලාපොරොත්තු එලෙසින්ම ඉටුවන්නට ‘ධරණී’ අප ද මෙම නිවුන් සොයුරියන්ට සුභාශිංෂණ එක් කළෙමු.

 

දීපා වසන්ති එදිරිසිංහ