Uncategorized

යටඇඳුමේ එල්ලුණු නෝනා – මහත්වරුන් වෙත ලියමි

අපිට නම් අමුඩෙ හරි තියෙනවා. මම ඊයෙම අපේ මුත්තගේ පෙට්ටගම අවුස්සලා කෝකටත් කියලා අමුඩ දෙක තුනක් හොයලා තියාගත්තා. අපිට දුක ඉතිං  උඹල ගැන තමා. ඒත් අවුලකුත් නෑ. උඹලා අපි එකතු වෙලා අතීතයට යමු. මොකෝ සීගිරි අප්සරාවනුත් යටට ඇඳලා හිටියේ නැහැනේ. දුක් වෙන්න එපා සහෝදරී.

අනේ කියන තැනකට වඳින්නම් ඒ අපරාදෙ නම් කරන්න එපා. මම මේ ජීවිතේ පටන් ගත්තා විතරයි. සසර කළකිරිලා මහණ දම් පුරන්න නම් මට බෑ. ඔය උස්සලා කිරිකිරියට තද කරලා බැඳගෙන  හිටියට ඕවා අපේ බත් කන හරක් අල්ලගන්න දාන සූත්තර. ඔන්න දැන් නම් අපිටත් හරියට වැල, වරකා, කුරුම්බා ඇට්ටි, රන්තැඹිලි, දෙහි ගැට, කුරුලෑ ගෙඩි අඳුනාගන්න පුළුවන් වෙයි.

උදෑසන කාර්යාලය එකම රස ගුලාවක්ය. කෙල්ලෝ විලියෙන් ඇඹරෙන්නෝය. කොල්ලෝ විලිබිය ඇති කෙල්ලන්ගේ යටඇඳුම් වචනවලින් ගලවන්නෝය. කොරෝනා කාලේ මරබියෙන් කාර්යාලයේ වැඩ අරඹන්නෝ එදා පුදුමාකාර ලෙස ප්‍රබෝධමත්ය. මේ අපූරු පෙරළිය සිදුවූයේ ඉකුත්දා රාත්‍රියේ මහබැංකුවේ බලධරයෝ යටඇඳුම් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩයක් ලෙස ප්‍රසිද්ධ කිරීමත් සමඟය. මූණුපොතේ විවිධාකාර රසයන් මවන්නෝද මධ්‍යම රාත්‍රියේ සිටම නිදිවැරුවෝය. භාණ්ඩ හයසිය විසි දෙකක් අමතක කර ඔවුන්ද එල්ලී සිටියේ යටඇඳුමේය.

ඔ‍ෆිස් අඳින යටඇඳුම් ගෙදරට ඇඳලා නාස්ති වෙලා. මම මේ හිතන් හිටියේ රට ඇරිය ගමන් යටඇඳුම් ටිකක් ගන්න. දැන් ඉතිං අරන් හමාරයි.” ලංකා රුපියල්වලින් යුරෝපයේ නෝනලා අඳින තනපට එක හමාරක මාසික වැටුපක් ගන්නා මගේ මිතුරියක් දුරකතනයෙන් මැසිවිලි නැඟුවාය.

කොහොමින් කොහොම හරි මුන්දැලා අපේ යටඇඳුමත් ගැලෙව්වා.” ඒ දෝස්මුරය සුදු මහතුන්ගේ ටයි ගැටය ඔවුන්ටත් වඩා හොඳට ගැටගසා ගත්තද තවමත් ඒරොප්පේ සුදු මහත්වරුන්ගේ විලි වසනා යටඇඳුමක පහස නොලැබූ පිරිමියෙක්ගෙන්ය. විලිබිය ඇති අපේ ඇත්තෝ භාණ්ඩ හයසිය විසිදෙකක් අමතක කර තවමත් යටඇඳුමේ එල්ලී සිටින්නේ හැදියාවටය.

වැදුම් ගේ තුළ වින්ඹුකම කළ වින්නඹු අම්මා අලුත උපන් පැටියාගේ විලි රෙදිකඩකින් වසා දෙන්නේ වැදූ අම්මාගේ දෝතටය. එදා පටන් දැලි රැවුල මෝදුවන තුරු කොල්ලන්ගේද, දීගතලාවක යනතුරු කෙල්ලන්ගේද විලි වසන්නේ අම්මාය. ජංගි කොට ඇඳි කොල්ලෝ අන්ඩර්වෙයාර් අඳින්නේ දැලි රැවුල මෝරන කාලයේය. නැප්කිනයෙන් ජංගියට මාරුවෙන දැරියෝ ජංගියෙන් පෑන්ටියට මාරු වන්නේ තන්ගැට මෝරන කාලයේය. ඒ කාලයට අම්මාගේ රැවුමට, ගෙරවුමට බියෙන් උඩට යටට යටඇදුම්වලින්ද, ඒ සියල්ල ආවරණය වන සේ උඩ ඇඳුමෙන්ද විලි වසාගන්නා යුවතියන්ගේ උඩඇඳුම් සේම යටිඇඳුම්ද ගැලවී යන්නේ මංගල යහනේදීය.

සුද්දා නොසිටින්න තවමත් අපේ ගෑනුන්ගේ තන් එළියේය. එදා තන් වැසෙන්නට උඩට ඇන්දේ කුලවත් බවලතුන්ය. කුලහීන බවලත් ඇත්තියන්ට ඒ වරම තිබුණේ නැත. සුද්දෝ හරි ගරු ගාම්භීරය. ඒ සුද්දන්ගේ රැස්පොට් පෙන්නන කළුසුද්දෝ ඊටත් වඩා ගාම්භීරය. නම්බු නාමවලට සුද්දාගේ පස්ස ලෙවකද්දී උන් පස්ස නොසෝදන ජාතියක් බව අපේ කුලවත් මුදලි මුහන්දිරම්ලාට මතක නැත්තේය. අපේ උන්ට වින කැටුවේ සුද්දා නොව සුද්දන්ගේ පස්ස ලෙවකෑ කළු සුද්දෝය. එකල ආණ්ඩුකාර ලෙනාඩ් වුල්ෆ්ට ගිරුවාපත්තුවේ ඇත්තෝ මනාපය. ගමේ ගොඩේ සංචාරේ යන ආණ්ඩුකාර උත්තමයාට උඩ පහල යන ලොට තන දෙක නිසා වී කොටන්නට නොහැකි බව ගැමි ගැහැනියක් කිව්වේ ලොට තනේ වදය විඳින්නට බැරිම තැනය. ගැහැනියගේ පැමිණිල්ලට ආණ්ඩුකාරයාගේ හිත හෙල්ලුනේය. උඩ නිරුවත් ගැහැනුන්ට තනපට අන්දන්නට ආණ්ඩුකාරයා කැමති වුණත් ගමේ ආරච්චිලා, මුදලි, මුහන්දිරම්ලා කැමති නොවූයේ කුලයේ අඩුව නිසාය. සුද්දා අපේ ගැහැනුන්ට රෙදි අන්දන්න හැඳුවත් ඊට එරෙහි වූයේ තම බල පරාක්‍රමය ඉදිරියේ ඕනෑම ගැහැනියක් රෙදි ගැලවිය යුතු යැයි සිතා සිටි සුද්දාගේ බත් බැලයෝය. ලෙනාඩ් වුල්ෆ්ට පිං සිද්ධ වෙන්නට උඩට නොඇන්දත් තන් අවරණය වන සේ රෙදි පටියකින් ගැටගසා ගන්නට කුලහීන ගෑනුන්ට අවසර ලැබුණේය. සුද්දා ලංකාවට නාවා නම් තවමත් අපේ ගැහැනුන්ගේ උඩුකය නිරුවතින්ය.

යටඇඳුම් ගැන කතා එමටය. නූතන යටඇඳුමේ නිර්මාපකයා ඇමරිකන්කාරයාය. එහෙත් උපන් ඇඳුම පිටින් සිටි ‍හෝමෝ සේපියන්ට යටට ඇන්දුවේ ගෝත්‍රික වැසියාය. අ‍පේ රටේ ගෝත්‍රිකයෝ සිටියේ  කුවේණියගේ නොසන්ඩාල පෙම්වතා තම්බපණ්ණියට ගොඩ බසින්නට පෙරය. අනුන්ගේ විලි වහන්නට කපු කටිමින් සිටි කුවේණිය ඇන්දුවේ නොසන්ඩාල පෙම්වතාය. එදා තම්බපණ්නියේ විසුවෝ කපු ඇඳුමින් විලි වසාගත් බවට සාක්ෂිය කුවේණිය. විජය කුවේණි සමඟ දිගටම දීග කෑවේ නම් තම්බපණ්නියේ ගෝත්‍රික ජීවිතයටද නැවතීමේ තිත වැටෙන්නේය. රාජ්‍ය ලබාගන්නා තුරු ගෝත්‍රික ගැහැනිය සිරියහනට ගත් පිටදේසක්කාරයා රාජ්‍යත්වය තහවුරු කරගත් පසු ඇයට පයින් ගැසුවේ තම දේශයේ බිසවක් සිරියහනට නංවා ගැනීමටය. අසරණ වූ කුවේණියගේ හා විජයගේ දරුවෝ යක්ෂ, නාග, දේව ගෝත්‍රයෙන් පිට නව ගෝත්‍රික සමාජයකට අඩිතාලම දැම්මෝය. මාලිගයේ පට සළුවලින් විලි වසාගත් ජීවහත්ත සහ දිසාලාට තම පිය උරුමයෙන් හිමිවූයේ ඇඳිවතය. එයද දිරා ගිය පසු එතැන් සිට ජීවහත්ත දිසාලා පරපුරේ උන්ගේ විලි වැසුණේ වනේ ගහකොළ හා සතා සීපාවාගේ හමට පිං සිදුවන්නටය. කපු කටින පරපුරක උරුමයක් තිබුණද ජීවහත්ත දිසාලා කොළ අතු ඇන්දේ අසරණකමටය. නමුත් මේ දේශයෙන් පිට කුවේණිලාගේ කාලයටත් පෙර විසූ ගෝත්‍රිකයෝ සිටියේ උපන් ඇඳුම පිටින්ය. අපේ අය යටට අඳින්නේ විලිබියටය. එදා ගෝත්‍රිකයෝ යටට ඇන්දේ විලිබිය නැති කරගන්නටය. විරුද්ධ ලිංගිකයා ආකර්ශනය කිරීමට දෙගොල්ලෝම හරි හරි සෙල්ලම් කළෝය. තම ලිංගික පෙදෙස් වර්ණවත් කළේය. මල් ගසා අලංකාර කළේය. ආභරණ එල්ලා හැඩ වැඩ කළේය. ප්‍රදර්ශනයේ ඇති දේට වඩා වසා ඇති තැන් හැර බැලීමට ඇති ආසාව මුලින්ම හඳුනාගත්තේ ගෝත්‍රික ජනයාය. පසු කාලයේ නිරුවතට වඩා අඩනිරුවත මාකට් කිරීමට ඇමරිකන්කාරයා පෙළඹවූයේද මේ ගෝත්‍රික සිතුවිලිය.

එහෙත් කල්ලතෝනි ඇමරිකානුවන් යටට අඳින්නට කලින් ඊජිප්තු පාරාවෝ යටට ඇඳි බවට සාක්ෂි ඇත්තේය. ටූටන් කාමන් රජු යටඇඳුම් ඇඳි පාරා රජෙකි. පළමු කාන්තා යටඇඳුම හමුවන්නේ ක්‍රීට් දිවයිනේ මිනෝවා ශිෂ්ඨාචාරයෙන්ය. ඒ තනපටයක්ය. මිනෝවා ගැහැනු තම තන වසාගත්තේ ලොම් සහිත තනපටකින්ය. රේන්ද අල්ලා, හක් අල්ලා නොතිබුණද ලොම් සහිත රෙදි පටය තනපටය කර ගැනීමට එකල ගැහැනු ද දක්ෂය. ග්‍රීකයෝ යටට ඇඳි බවට සාක්ෂි නැත්තේය. එහෙත්  රෝමානු ගැහැනු පිරිමි යටට ඇඳ ඇත්තේය.

ඇමරිකානුවෝ උඩට ඇඳ සිටි ගැහැනු පිරිමින්ට යටට අඳින්නට හුරු කළේ කුපාඩිකමටය. විශේෂයෙන්ම ගැහැනුන්ගේ අඩ නිරුවතට ඇති කෑදරකමටය. වික්ටෝරියා සීක්‍රට් උපත ලැබුවේද සරාගී ස්ත්‍රී අඩ නිරුවත ප්‍රිය කළ සැමියෙකුගේ ආසාවටය. 1977 දී රෝයි රේමන්ඩ් ඇමරිකාවේ සාප්පු පීරුවේ තම රුවැති බිරින්දෑට ගැළපෙන යටඇඳුමක් තෝරන්නටය. තම බිරිඳගේ සරාගී ආකර්ශනය මතුවන එකඳු යටඇඳුමක් හමුනොවූ රෝයි නතර වූයේ මධ්‍යම පාන්තික ඇමරිකානු කාන්තාවන්ගේ පහසුව හා සරාගී බව වැඩි කරන යටඇඳුම් සාප්පුවක් ‍කැලිෆෝනියාවේ විවෘත කරමින්ය. එක අතකට ‍වික්ටෝරියාගේ රහස හඳුනාගත් රෝයී පරාර්ථකාමියෙකි. තම රූමත් බිරින්දෑට තමාගේ ආසාව අනුව යටඇඳුම් තෝරාගැනීමේ අයිතිය ඔහු කුහකකමක් නැතුවම ඇමරිකානු මහත්වරුන්ටද ලබා දුන්නේය.

නෝනලා සමඟ සේම නෝනලා නැතුවද තම සාප්පුවට ගොඩ වී යටඇඳුම් තෝරන මහත්වරුන්ගේ හිත යට කැකෑරෙන ආසාව හඳුනාගන්නට රෝයිගේ පිරිමි සිතට හැකිවීම ඇමරිකාව පමණක් නොව ‍ලෝකය හොල්ලන යටඇඳුම් නිර්මාණකරුවන් අතරට එක්වීමට ඔහුට පාර පෙන්නුවේය. යුරෝපයේ මහත්වරුන්ට නෝනලාගේ අඩ නිරුවතේ රසය විඳින්නට බාධාවක් නැත්තේය. එයට තැනක් නොතැනක් ද නැත්තේය. එහෙත් අපේ රටේ මහත්වරුන්ට එහෙම නිදහසක් නැත්තේය. ඒ නිසා තම බිරිය වික්ටෝරියා සීක්‍රට් ඇන්දත්, පමුණුවේ යටඇඳුම් ඇන්දත් ඔවුන්ට ගානක් නැත්තේය. යුරෝපයේ මහත්වරුන්ට තම පෙම්වතියට, බිරිඳට වික්ටෝරියා සීක්‍රට් අරන් දීමේ සිහිනයක් නොවන්නේය. ආසාව තිබුණත් අපේ රටේ මහත්වරුන්ට එය සිහිනයක්මය. ඇති හැකි මහත්වරු නෝනලාට එහෙමත් නැත්නම් පෙම්වතියට මාල, වළලු, මුදු, කරාබුවලට අමතරව බ්‍රෑන්ඩඩ් යටඇදුම් තෑගි දෙන්නේ තත්ත්වය තරාතිරම පෙන්වන්නටය. පෙම්වතුන්ව සිටියදී දෙන තෑගි විරසක වූ විට කීම දූපතක ජීවත්වන අපේ ගතියක්ය. මීට කලකට ඉහත ප්‍රබල ඇමතිවරයෙක් පැටලී සිටි පෙම් පලහිලව්ව නතර කළේය. “මම එයාට ඇමරිකාවෙ ගිහින් වික්ටෝරියා සීක්‍රට් යටඇඳුමුත් අරන් දුන්නා.  ඇමති පෙම්වතා විරසක වූ පෙම්වති‍යගේ යටඇඳුම් ගැන කියන්නට ගොස් තමාගේ යටඇඳුම් ප්‍රසිද්ධියේ ගලවා ගත්තේය.

රෝයි වික්ටෝරියාගේ රහස හොයාගන්නා විටත් අපේ රටේ බහුතරයක් මහත්වරු යටට ඇන්දේ අමුඩයය. අමුඩය ඇඳි මහත්වරුන්ගේ නෝනලා ඇන්දේ බොඩියය. අමුඩය ගැන කතා එමටය. එහෙත් ප්‍රසිද්ධ මාධ්‍යයේ ඒ ගැන කියන්නට තහංචිය. බොහෝවිට අමුඩය දිවා කාලයේ ඇඳුම කරගත්තේ හේනේ කුඹුරේ මහපොළොව සමඟ ඔට්ටු වන ගොවි මහතුන්ය. දවල් බතට ගෙට ගොඩවන ගෙදර ඇත්තා අතේ පයේ අමාරුකම් ඇර ගන්නට ගේ ඇතුළට වදින්නේ උළුවස්සේ අමුඩය පේකරය. අමුඩය පේකර ඇති ගෙයක වැට මායිම පනින්නට කවුරුත් ඉදිරිපත් නොවන්නේය. එක ගේ කන අයියා මලෝ දහවලේ හිටිහැටියේ අතුරුදන්වීමත් උළුවස්සේ අමුඩය පේවීමත් ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවක් වී කඩුල්ල ළඟ සිටින සහෝදරයාට කඩුළු තහංචියක් වන්නේය. එදා අමුඩය පිරිමින්ගේ විලි වැසුවා සේම ලිංගිකත්වයද කියා පෑවේය.

විවෘත ආර්ථිකයට පෙර පිරිමි සරමට යටින් අමුඩය ඇන්දද ගැහැනු පුරුද්දක් ලෙස යටි කයට යටඇඳුම් ඇන්දේම නැත. කාන්තාවන් මුහුණ දෙන ශාරීරික අවශ්‍යතාවයට සුදුසු පරිදි යටඇඳුමක් සකසා ගැනීමට එකල ගැහැනුන්ට ඉගැන්වූයේ ගෙදර පාසලෙන්ය. ඇමරිකාවේ පෑන්ටි සහ බ්‍රිතාන්‍යයේ නිකර් විවෘත ආර්ථිකයෙන් පසු ලංකාවට ගොඩ බැස්සද ඉනේ නූලට රෙදි කෑලි අමුණා සකසා ගත් යටඇඳුමෙන් මිදෙන්නට ඔවුන්ට අවශ්‍ය වූයේ නැත.

අපේ ආත්තම්මා යටට අඳින්නෙ නැද්ද කොහෙද? අදිනවා නම් වැලකවත් තියෙන්න ඕනෙනේ. අම්මාගේ නම් මම දැකලා තියනවා. ඒත් අත්තම්මාගේ නම් දැකලාම නෑ.”

පාසැල් කාලේ යටඇඳුම් ගැන කතා වෙද්දී මගේ මිතුරියක් කී කතාවය. කොළඹින් ඈත ග්‍රාමීයව වෙසෙන ඇගේ මිත්තණියට දැන් 85කි. 85 මිත්තණියෝ පමණක් නොව ගමේ ගොඩේ පනහ හැටේ අම්මාලාද තවමත් යටට අඳින්නේ නැති බව කීවේ සනීපාරක්ෂක තුවා ගැන සමීක්ෂණයක් කළ විශ්වවිද්‍යාල මිතුරියක්ය. ආනයනික යටඇඳුම් ගැන විස්සෝප වන යුවතියන් සිටින රටක, පාසැල් දැරියෝ සනීපාරක්ෂක තුවා වෙනුවට තවමත් රෙදි කඩමාලු අඳින්නේ නැතිකමටය.

අපේ රටේ ඇත්තෝ යටඇඳුම් ගැන විස්සෝප වෙද්දී ඔටුන්න හිමි කුමාරයාගේ බිරිඳද යටඇඳුම් ගලවා දමා ඇත්තේය. එය කියන්නේ අනුන්ගේ රෙදි ගලවන්න දක්ෂ අපේ අය නොව අඳින යටඇඳුම් පවා හොයන එරට මාධ්‍යයය. ආදිපාද කේට් මිඩ්ල්ටන් කුමරිය ප්‍රසිද්ධ ස්ථානවලට ඇඳුම් නොමැතිව යද්දී බටහිර සිනමා තාරකාවන්, නිරූපණ තාරකාවන්ද යටඇඳුමින් මිදී ඇති බව එරට ඕපදූප මාධ්‍යකරුවෝ පවසන්නේ සාක්ෂි සහිතවය. රජ පවුලේ කුමර කුමරියන් තම පවුලේ උදවිය ලෙස සලකන අපේ ඇත්තෝත් නුදුරෙහිදී යටඇඳුමින් මිදුනොත් ඒ ගැන පුදුම විය යුතු නැත. දැනටමත් අපේ බහුතරයක් තාරකාවන්ගේ ගැලවීමට ඉතිරිව ඇත්තේ පෑන්ටිය පමණය. විවිධ විලාසිතාවේ ඇඳුම් මෝස්තර ඔවුන්ගේ බ්‍රා ගලවා දමා ඇත්තේය. වාසනාවකට අපේ සාදාචාරාත්මක මාධ්‍යයට ඔවුන්ගේ යටඇඳුමේ ඕපාදූප සොයනවාට වඩා වැඩ ඇත්තේය.

කර කපපු ඇඳුම්වලට බ්‍රා එක ඕන නෑ. ඒ අඩුව නොදැනෙන විදියට ඇඳුමට ගැළපෙන විදියට හදාගන්න පුළුවන්නේ. දැන් ඔය සාරි ඇඳන් ඔෆිස් යන අයත් වැඩි පුරම අඳින්නේ බ්‍රා කප් නේ.”

ඇඳුම් මෝස්තර ගැන සැළකිලිමත් වන මා මිත්‍ර නිරූපණ ශිල්පිණියක් අවස්ථානුකූලව බ්‍රා නොඅඳින තමන්ගේ සනුහරය වෙනුවෙන් පෙනී සිටියේ එසේය.

අවශ්‍යතාවයට අනුව ඇතැම්විට කාන්තාවන් යටඇඳුම්වලින් මිදුණද බටහිර පිරිමින්ට සේම අපේ පිරිමින්ටද තවමත් ඒ අසනීපය බෝ වී නැත්තේ වාසනාවටය. අපේ අය ඇඳගන්න සේම අන්දන්නත් දක්ෂය. වේලක් ඇර වේලක් කා, සීනි පිටි නැතුව තේ බී හෝ අපේ ඇත්තෝ ජැන්ඩියට ඇන්දෝය. උඩට සේම යටටත් හොඳටම ඇඳි අපේ ඇත්තන්ට හොඳටම රිදුනේ මහබැංකුව යටඇඳුමටත් සීයට සීයක ආනයන සීමා තැන්පතුවක් පැනවූ පසුය. කෙල්ලන් රැඟුවේ තන්ගැට මෝදුවෙනදා සිට වික්ටෝරියා සීක්‍රට්වලින් විලි වසාගත්තා සේය. ඇමරිකන්කාරයාට පිං සිද්ධ වෙන්නට අමුඩෙන් අන්ඩවෙයාරයට මාරු වී කෑලි තුනම සීයට දෙසීයට පිටකොටුවෙන් මිලදීගෙන ලෝකල් බොක්සරයෙන් විලි වසාගත්‍ අපේ කොල්ලන් දුක් වූයේ ඇමරිකාවෙන් ආනයන කළ ‍බොක්සර්, ට්‍රන්ක් ඇන්දා සේය. සියලු ප්‍රශ්න යට වී යටඇඳුම් ප්‍රශ්නය උඩට එද්දී වෙළෙඳ ඇමති නිදා සිටි ලෙඩ ඇඳ පඬුපුල් ආසනය සේ උණු වූයේය. කොරෝනා සමඟ සටන් කර ඔහු ලෙඩ ඇදෙන් නැඟිට්ටේ අපේ ඇත්තන් දැවෙන යටඇඳුම් ප්‍රශ්නයේ වගකීමද තම උර මතට ගනිමින්ය. මේ කාලයේ මිල වැඩි බොහෝ දේ අඩු මිලට ඇත්තේ සතොසේය. මිල අඩු වුවද සතොසේ ඇති බඩු කොලිටි බව සන්තෝෂයෙන් කියන්නේ සතොස ඇමති බන්දුලය. ඇමති බන්දුල කිව්වොත් දෙයක් කරනවාමය. ඒ ගැන අපිට ඇත්තේ සන්තෝෂයක්ය. එබැවින් තව නොබෝ දිනකින් වික්ටෝරියා සීක්‍රට් වැනි ආනයනික යටඇඳුම් ගන්නට කුරුඳුවත්තේ නෝනලාද, ආනයනික බොක්සර්, ට්‍රන්ක් ගන්නට ටයි කෝට් ඇඳි මහත්වරුන්ද සතොසේ හාල්, පිටි, සීනි පෝලිමට එක්වීම වෙළෙඳ ඇමතිට පමණක් නොව ඔහුගේම වචනයෙන් කිව්වොත් සක්‍රයාගේ පුතා වයිමා ආවත් නතර කිරීමට බැරිය.

හිමේෂා සවන්තී රාජපක්ෂ