නවතම ප්‍රවෘත්ති

FM දෙරණට සම්බන්ධ වුණු එක තමයි ජීවිතේ ගත්තු හොඳම තීරණේ

ලංකාවේ පළවැනි ගුවන්විදුලි විකාශනය සිද්ධවෙලා තියෙන්නේ 1923දී. ඔය කාලේ ලංකාව පාලනේ කළේ සුද්දොනේ. යුද්ධෙදි යටත් කරගත්තු ජර්මානු සබ්මැරීන් එකක රේඩියෝ උපකරණ කොටස් යොදාගෙනයි ඔය මුල්ම පටිගත කිරීම කරලා තියෙන්නේ.

1949දී බ්‍රිතාන්‍ය විසින් ඒ උපකරණ කට්ටල ලංකාවේ රජයට බාරදීලා. ලංකාවේ පළවැනි ගුවන්විදුලිය රේඩියෝ සිලෝන් පටන්ගත්තේ ඊටපස්සේ. ඒ කාලේදි රෙඩියෝ විකාශනය වුණේ AM තරංග මාධ්‍යයෙන්.

1993දී ලංකාවට FM තරංග හඳුන්වාදුන්නා. පස්සේ 1999දී වගේ පෞද්ගලික ගුවන්විදුලි විකාශනයට අවසර ලැබුණා. ඉතින් එදා ඉඳලා අද වෙනකල් හැදුනු FM නාලිකා ගාණ අනන්තයි. හැබැයි ඒ අතරින් මතකයේ රැඳුණු නාලිකා ප්‍රමාණය අතේ ඇඟිලි ගාණටත් අඩුයි.

රේඩියෝවලට වගේම මිනිස්සුන්ටත් සංඛ්‍යාත තියෙනවා කියනවනේ. කන පිනවන සිත සනහන දේවල් අහන්න අහන්න සංඛ්‍යාතය ධනාත්මක වෙනවලු. අර කිව්වා වගේ ඒ සංඛ්‍යාතය වැඩි කරන  චැනල් එහෙමනම් ටිකක් අඩුයි.

2009 මාර්තු 29 ලංකාවේ ඔය කිව්වා වගේ FM නාලිකාවක් පටන්ගත්තා. භාවනාවක් වගේ කනට මිහිරි නිසා ශ්‍රාවකයන් මේ චැනල් එක ආදරෙන් වැළඳගත්තා. ඉතින් ඒ ආදරේ එක්ක මේ FM නාලිකාව අද වෙනකොට අවුරුදු 14ක ලොකු දුරක් ඇවිල්ලා. නිකන් නෙමෙයි ලංකාවේ අංක එකේ ගුවන්විදුලි නාලිකාව විදියට.

ඔව්. FM දෙරණ. ඔබේ ආදරණීය ගුවන්විදුලි නාලිකාව FM දෙරණ අද ඔවුන්ගේ 14 වැනි සංවත්සරය සමරනවා. ඒ නිසාම අද ධරණී කවරය හැඩවෙන්නේ FM දෙරණ නාලිකාවේ සුන්දර නිවේදිකාවන්ගෙන්.

2009දී නාලිකාව පටන්ගත්තු දවසේ මුල්ම ප්‍රෝග්‍රෑම් එක කළ නිවේදිකාව එක්ක අපි FM දෙරණ ආපු ගමන ගැන කතා කළා. නිවේදිකාවක් විදියට ගමන පටන්ගත්තු ඇය අද FM දෙරණ නාලිකාවේ ජ්‍යේෂ්ඨ පරිපාලන කළමනාකාරවරියයි. ඇය ඌෂා ගයානි අල්විස්.

FM දෙරණේ 1 ඉඳලා 4 වෙනකල් යන ‘අපූර්වා’ ගුවන්විදුලි නාට්‍යයේ නිෂ්පාදිකාව ඇය. ටෙලිනාට්‍ය ඉදිරිපත් කරන ආදරණීය හඬ ඌෂාගේ. ඒ වගේම  FM දෙරණේ නිතරම ඇහෙන ‘FM දෙරණ ආදරේ නිසයි අහන්නේ’ තේමා පාඨයෙන් ඇහෙන්නෙත් ඇගේ හඬයි.

උසස් පෙළින් පස්සේ මම ගුවන්විදුලි නාලිකාවක මාකටින් පැත්තේ ජොබ් එකකට ඉන්ටර්වීව් ගියා. ඉන්ටර්වීව් එකට ගියාට මොකද මාකටින් පැත්තේ ජොබ් නැහැ, නිවේදිකාවන්ට නම් වේකන්සි තියෙනවා, කැමති නම් වොයිස් එකක් දාලා යන්න කියලා ඒ අය මට කිව්වා. මමත් ඉතින් ඒ අය කිව්ව විදියටම කළා. පස්සේ ඒ ආයතනයෙන් මාව ගුවන්විදුලි නිවේදිකාවක් විදියට තෝරගත්තා. එතැන මාස කිපයක් වැඩ කළා. පස්සේ ලංකාවේ ජනප්‍රිය FM නාලිකාවක් එක්ක සම්බන්ධ වුණා. ඔතන වැඩ කර කර ඉන්දැද්දි දවසක් චාමික සමරකෝන් කතා කරලා දෙරණෙන් අලුත් FM  එකක් පටන්ගන්න යනවා ඒකට එන්න කැමතිද කියලා මගෙන් ඇහුවා. මම හිටියේ ටිකක් ප්‍රසිද්ධ නාලිකාවකනේ. ඉතින් පටන් අරගෙනවත් නැති නාලිකාවකට යන්න බැහැයි කියලා හිතුණු නිසා මුලින්ම මම ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කළා. ඔහොම මාස දෙකක් විතර යනකොට දෙරණෙන් පටන්ගන්න චැනල් එකට යන්න ඕනේ කියලා එකපාරම මට හිතුණා. පස්සේ ඉතින් මම FM දෙරණ එක්ක සම්බන්ධ වුණා.

ඌෂා FM දෙරණ එක්ක සම්බන්ධ වෙනකොටත් නාලිකාව පටන් අරගෙන තිබුණේ නැතිලු. ඉතින් මාර්තු 29 නාලිකාව පටන්ගත්තු දවසේ ආරම්භක වැඩසටහන කරන්න ඌෂාට අවස්ථාව ලැබිලා.

ඒ වැඩසටහන FM දෙරණට සමගාමීව TV දෙරණෙත් විකාශය වුණා. අවුරුදු 14කට පස්සේ ආපස්සට හැරිලා FM දෙරණේ පළවැනි ප්‍රෝග්‍රෑම් එක කළා කියලා හිතද්දි ඒ සතුට කියාගන්න මට වචන නැහැ.

FM දෙරණට සම්බන්ධ වෙච්ච මුල් කාලෙදි ඇගේ පෞද්ගලික ජීවිතේට අභියෝග කිහිපයක්ම ආවලු. ඒ දේවල් කළමනාකරණය කරගන්නත් ආයතනයෙන් ඇයට ලොකු සහයෝගයක් ලැබිලා.

දෙරණට සම්බන්ධ වෙලා අවුරුද්දකින් මම විවාහ වුණා. තවත් අවුරුද්දකින් විතර මම ප්‍රෙග්නන්ට් වුණා. මට ලැබුණේ නිවුන්නු. බබාලා ලැබුණට පස්සේ මට ගොඩක් අමාරු වුණා. මාස තුනක් නැගිටින්න බැරිව හිටියා. සාමාන්‍යයෙන් එහෙම වෙද්දි රස්සාව ගැන හිතට බයක් දැනෙනවනේ. හැබැයි මට කිසිම වෙලාවක එහෙම බයක් දැනුණේ නැහැ. ඔෆිස් එකේ හැමෝම නිතරම කතා කර කර මාව බැලුවා. ඒ දේවල් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

ගොඩක් කාන්තාවන්ට රැකියාව නිසා පෞද්ගලික ජීවිතේ කටයුතු කළමනාකරණය කරගන්න අමාරු වෙනවනේ. හැබැයි පීඩනයක් නැතිව රැකියාවයි පෞද්ගලික ජීවිතයයි කළමනාකරණය කරගන්න ආයතනයෙන් ඇයට වගේම අනිත් කාන්තාවන්ටත් ලොකු සහායක් ලැබෙන බවයි ඌෂා කිව්වේ.

ආයතනය පටන්ගන්නකොට එකතුවුණු සාමාජිකයෝ 6ක් වගේ තමයි දැන් ඉතිරි වෙලා ඉන්නේ. ගොඩක් ඉන්නේ ඊටපස්සේ ආපු කණ්ඩායම්වල සාමාජිකයන්. හැබැයි පළවැනි ටීම් එකේ දෙවැනි ටීම් එකේ කියලා අපි අතර බෙදීමක් නැහැ. හැමෝම සහෝදරයෝ වගේ එකමුතුව වැඩ කරනවා. අපේ ටීම් එකේ නිවේදිකාවෝ 10ක් ඉන්නවා. අර ගෑනු ගෑනුන්ට ඊරිසියයි කියලා කතාවක් තියෙනවනේ. හැබැයි අපේ කණ්ඩායමේ නම් ඇත්තටම එහෙම දේවල් නැහැ.”

ඌෂා අනිත් ආදරණීය නිවේදිකාවන්ගේ නමුත් මේ විදියට මතක් කළා.

නිරොශිකා නෙරංජි (විධායක වැඩසටහන් නිෂ්පාදිකා/නිවේදිකා), මධූමාලී ජයසිංහ (විධායක වැඩසටහන් නිෂ්පාදිකා/ නිවේදිකා), කේෂිනි ඩිලුනිකා ප්‍රනාන්දු (ජ්‍යේෂ්ඨ විධායක නිවේදිකා/නිෂ්පාදිකා), අහල්‍යා සෙනවිරත්න (විධායක නිවේදිකා), ඉශාරා දිසානායක (නිෂ්පාදිකා/නිවේදිකා), ගිම්හානී ඉන්ද්‍රචාපා (වැඩසටහන් නිවේදිකා/නිෂ්පාදිකා), ශානිකා තරංගනී (වැඩසටහන් නිවේදිකා/නිෂ්පාදිකා), ඕශදී සිරිවර්ධන (වැඩසටහන් නිෂ්පාදිකා/නිවේදිකා), දිල්රුක්ෂි සෙනවිරත්න (ජ්‍යේෂ්ඨ විධායක වැඩසටහන් නිෂ්පාදිකා/නිවේදිකා)

ඒ වගේම FM දෙරණේ නිවේදකයන් 18 දෙනාව ආදරයෙන් මතක් කරන්නත් ඇය අමතක කළේ නැහැ.

මේ අවුරුදු 14 ඇතුළෙදි FM දෙරණේ සාර්ථකත්වය වගේම FM දෙරණට ලැබෙන ආදරය ගැනත් අපි ඌෂාගෙන් අහලා බැලුවා.

මුලින්ම අපේ සාර්ථකත්වය ගැන කියනවානම් 2021දී තාරුණ්‍යයේ ජනප්‍රියම රේඩියෝ නාලිකාව විදියට ස්ලිම් නීල්සන් සම්මානය ලබාගන්න අපිට පුළුවන් වුණා. L.M.R.B. දත්තවලට අනුවත් ලංකාවේ අංක එකේ රේඩියෝ චැනල් එක FM දෙරණ. FM දෙරණට මේ නාලිකාවේ නිවේදිකාවෝ විදියට අපිට ලැබෙන ආදරේ නම් මාරයි. අපේ නාලිකාව එක්ක ලොකු ශ්‍රාවක පිරිසක් එකතු වෙලා ඉන්නවා. හිතන්නකෝ වැඩසටහනක ඉන්ට්‍රෝ එකකදී ඒ අයට අපේ හඬේ වෙනසක් දැනුණොත් විනාඩියක් යන්න කලින් අද අසනීපෙන්ද ඉන්නේ කියලා අහනවා. සමහරු අපිව බලන්න ඔෆිස් එක ගාවට එනවා. ඒ හැමෝවම අපි ආදරෙන් පිළිගන්නවා. දිගටම ඒ ආදරෙන් අපිත් එක්ක ඉන්න කියලා අපේ ආදරණීය ශ්‍රාවකයන්ට මේ වෙලාවෙදි කියන්න ඕනේ. FM නිවේදකයෝ කියන්නේ මිනිස්සුන්ගේ මානසික සතුට වෙනුවෙන් සේවය කරන පිරිසක්. ඉතින් මට දැනෙන විදියට මේක තමයි මේ ලෝකේ වාසනාවන්තම රස්සාව. FM දෙරණට එකතුවුණු නිසා ඒ වාසනාව දෙගුණ තෙගුණ වුණා. අලුත් අභියෝගයක් බාරගන්න තිබුණු අකමැත්තට මුලදි බැහැ කිව්වට FM දෙරණට සම්බන්ධ වුණු එක තමයි මම මගේ ජීවිතේ ගත්තු හොඳම තීරණේ.”

 

*කාන්තාවන් වෙනුවෙන් FM දෙරණෙන් කරන විශේෂ වැඩසටහන් එහෙම තියෙනවද?

ඔව්. 1-4 වෙනකල් යන අපූර්වා ටෙලිනාට්‍ය එක්ක වැඩිපුරම එකතුවෙන්නේ කාන්තාවෝ. වැඩසටහන අතරතුරේදි ප්‍රශ්න අහලා ඒවාට තෑගි දෙනවා. තෑගි කියන්නේ ගෙදරට අත්‍යවශ්‍ය කළමනා, දරුවන්ගේ පාසල් උපකරණ, ස්වයං රැකියා අරමුදල් වගේ දේවල්. ඉතින් ඒ දේවලුත් කාන්තාවන්ට වටිනවනේ.

අපූර්වා අහන අයට විතරක් නෙමෙයි මාර්තු 29 සංවත්සරය දවසේ FM දෙරණ අහන අයටත් තෑගි ගොඩක් දිනාගන්න පුළුවන්ලු.

සංවත්සරය වෙනුවෙන් අපි වැඩසටහන් කිහිපයක්ම ලකලෑස්ති කරලා තියෙනවා. සංවත්සරය වෙනුවෙන් 25 සිකුරාදා ඇටෑක් ශෝ එකක් තියෙනවා. ඒ වගේම 26 ඉරිදත් කලාකරුවන් 14 දෙනෙකුගේ සංගීත ප්‍රසංගයක් TV දෙරණට සමගාමීව විකාශය වෙන්න නියමිතයි. 29 සංවත්සරය දවසේ FM දෙරණ අහන අයට පැයෙන් පැයට මුදල් ත්‍යාග දිනාගන්න අවස්ථාවකුත් තියෙනවා ඔන්න.

සංවත්සර විශේෂ වැඩසටහන් ගැන ඒ විදියට මතක් කරපු ඌෂා ඊගාවට කිව්වේ FM දෙරණේ මුල් ටික ගැන.

අද FM දෙරණ ලොකු දුරක් ඇවිල්ලා. මේ ගමනේදී හැමෝටම පේන්න ඉන්නේ අපි වුණාට අපිව දරාගෙන හයිය මුල් ටිකක් අපි පිටිපස්සේ ඉන්නවා. දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා, දෙරණ මාධ්‍ය ජාලයේ උප සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී ලක්සිරි වික්‍රමගේ මහතා, දෙරණ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂිකා වරුණි අමුණුගම මහත්මිය, විධායක අධ්‍යක්ෂක සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මාධව මඩවල මහතා, දෙරණ නාලිකා සමූහයේ වෙළඳ සහ අලෙවි අධ්‍යක්ෂ තුෂාර පෙරේරා මහතා සහ FM දෙරණ සාමාන්‍යාධිකාරී බණ්ඩාර විජයරත්න මහත්මාවත් මේ වෙලාවෙදි මතක් කරනවා.

සෙව්වන්දි හෙට්ටිආරච්චි