සුව දිවිය

අයියගේ යාළුවෙක් එක්ක මම රූම් එකකට ගියා

අද කතාවේ කතා නායිකාවගේ පුද්ගලික තොරතුරු හෙළිදරව් නොවිය යුතු නිසා ඇය තරුෂි නමින් හඳුන්වමි.

වයස අවුරුදු දහඅටක සුන්දර යුවතියක් වූ තරුෂි දිනක් අපගේ සායනයට පැමිණියේ ඒ වනවිට ඈ මුහුණ දී සිටි බලවත් ගැටළුවකට විසඳුම් සෙවීමටය.

‘‘මම මේ ගමන ආවේ ගෙදරට හොරෙන්.. අම්මලා දැනගත්තොත් මාව මරදා දායි ඩොක්ටර්….’’

ඇය සායනයට පැමිණ තිබුණේ තනිවමය. එසේම ඇය සිටියේ අනවශ්‍ය පීඩනයකින් සහ දැඩි බියකින්ය. ඒ නිසා ප්‍රථමයෙන් ඇයව සන්සුන් කිරීමට මම කටයුතු කළෙමි.

‘‘මගේ රහස් ප්‍රදේශයේ ඉන්නෝ වගයක් ඇවිල්ලා. එහෙම එන්න හොඳ නැහැලු නේදමම මැරෙයිද ඩොක්ටර්…?’’

ඒ කතාවෙන් මා වටහාගත්තේ යොවුන් විය ගතකරන තරුෂිට ලිංගිකත්වය පිළිබඳව ඇති දැනුම ඉතා අවම බවය.

ලිංගික ඉන්නන් ඇතිවූ පමණින් යමෙකු මිය නොයන බවත් එය නිට්ටාවට සුව කිරීමට හෝ මැනවින් පාලනය කිරීමට හැකි රෝග තත්ත්වයක් බවත් මම ඇයට පැහැදිලි කළෙමි.

කරුණු පැහැදිලි කිරී‍මෙන් අනතුරුව ලිංගික ඉන්නන් ඇතිකරන වෛරසය ඇගේ සිරුරට ඇතුළු වූයේ කෙසේද යන්න මා විමසුවෙමි.

තරුෂි ඇයට මුහුණදීමට සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව මා සමඟ පැවසුවේ ඉන්පසුවයි.

‘‘සරත් කියන්නේ අපේ අයියගේ යාළුවෙක්. අපේ අයියව හම්බවෙන්න නිතරම වගේ අපේ ගෙදරට ආවා.’’

තිස් හැවිරිදි සරත් නමැත්තෙකු සමඟ තරුෂි පෙම් සබඳතාවක් ඇති කරගෙන තිබුණි.

‘‘දවසක් ගෙදර කවුරුත් නැති වෙලාවක මම එයත් එක්ක අඹුසැමියන් විදිහට හැසිරුණා. පස්සේ එයා මාව ආයෙත් දවස් දෙක තුනක්ම රූම්වලටත් අරගෙන ගියා.’’

එතැනින් නොනැවතුණු සරත් ඔහුගේ මිතුරන් සමඟ ද යහන්ගත වන ලෙස තරුෂිට පැවසූ බව ඈ කියයි.

‘‘එහෙම කිව්වම මට එයාව එපා වුණා. ඒ නිසා මේ සේරම අම්මටයි, තාත්තටයි කියනවා කියලා මම එයාට කිව්වා. එදා ඉඳලා සරත් මට කතා කළේවත්, අයියව මුණගැහෙන්න ආවෙවත් නැහැ. ඔය සිද්ධිය වෙලා මාස කීපයකට පස්සේ තමයි මම මේ ඉන්නන්ව දැක්කේ.’’

තත්ත්වය හේතුවෙන් ඇය සිටියේ දැඩි මානසික පීඩනයකින්ය. උපදේශනය මගින් ඇයගේ මානසික පීඩනය යටපත් කළ මම එදිනම ඇයගේ කායික ප්‍රතිකාරද ආරම්භ කළෙමි.

මෙවැනි අවාසනාවන්ත ඉරණම්වලට මුහුණදෙන ළාබාල යුවතියන් ඕනෑතරම් මාගේ වෘත්තීය ජීවිතය තුළදී මුණගැසෙයි. නමුත් ලොව පුරා වයස අවුරුදු පහළොවත් විසිහතරත් අතර තරුණියන්ට ලිංගාශ්‍රිත රෝග ඇතිවීමේ වැඩි අවධානමක් ඇති බව මේ බොහෝදෙනා නොදැනුවත්ය. තවත් එක් ලිංගාශ්‍රිත රෝගයක් ගැන දැනුවත් කරනවාට වඩා මේ පිළිබඳව ඔබව දැනුවත් කිරිම හොඳ යැයි කියා මා සිතුවේ ඒ නිසාය.

ජෛව විද්‍යාත්මක සොයාගැනීම්වලට අනුව කාන්තාවකට ලිංගාශ්‍රිත රෝග බෝවීමේ අවධානම වැඩිය.

ලිංගික සම්බන්ධතාවයකදී ලිංගාශ්‍රිත රෝග ඇතිකරන විෂබීජ සහිත තරලවලට නිරාවරණය වන යෝනි මාර්ග වර්ගඵලය, පිරිමියාට සාපේක්ෂව වැඩිය.

මේ කාරණා සරලව පැහැදිලි කළහොත් ලිංගාශ්‍රිත රෝග සාදන බැක්ටීරියා, වෛරස්, දිලීර වැනි දේ පිරිමි ඇඟට ඇතුළු වන්නේ ශිෂ්ණ මුණ්ඩය හරහායි. නමුත් ශිෂ්ණ මුණ්ඩයේ සමේ පවතින ස්වභාවය නිසා ඒ හරහා එවැනි දේ ඇතුළුවීමට ඇති අවධානම අඩුය. නමුත් කාන්තාවකගේ යෝනි මාර්ගයේ වර්ගඵලය පුළුල් බැවින් ලිංගාශ්‍රිත රෝග සාදන ආගන්තුක දෑ ඔවුන්ගේ ශරීරයට ඉතා පහසුවෙන්ම ඇතුළු වේ.

එපමණක් නොව ලිංගික සම්බන්ධයකදී යෝනි මාර්ගයේ ඇති විය හැකි කුඩා තුවාල හෝ ඉරිතැලීම් ඇති කරන වෛරස, බැක්ටීරියා, දිලීර වැනි දේ කාන්තා සිරුරට ඇතුළු වේ. ඊට අමතරව HIV වැනි ආසාධන තෙත් සහිත ශ්ලේශ්මල පටක හරහා ඍජුවම යෝනි මාර්ගයට ඇතුළු විය හැකි බවත් කිව යුතුය.

ඒ වගේම පසුව මේ ආසාදනය ගැබ්ගෙල හරහා පැලෝපීය නාල සහ උදර කුහරය තුළටත් ඉතා වේගයෙන් පැතිරේ.

වෛරසය ආසාදනය වූ පසු පිරිමි අයගේ රෝග ලක්ෂණ වැඩිවීමේ අවස්ථාව වැඩිය. ඒ නිසා ඔවුන් ප්‍රතිකාර වෙත යොමුවන ප්‍රවණතාවයද වැඩිය. නමුත් කාන්තාවන් බහුතරයකට මුල් අවධිවලදී කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වන නිසා ඔවුන් ප්‍රතිකාර සඳහා යොමුවන ප්‍රවණතාවද සාපේක්ෂව අඩුය.

මේවා පොදුවේ කාන්තාවන්ට ඇති අවධානම්ය. අවුරුදු 15-24 වයස් කාණ්ඩයේ යුවතියන්ට ලිංගාශ්‍රිත රෝග ඇතිවී‍මේ අවධානම තව තවත් වැඩි වන්නේ ඔවුන්ට නිසි ලිංගික දැනුමක් නොමැති වීම සහ අපයෝජන වළක්වා ගැනීමට ඔවුන් සතු ජීවන කුසලතා මට්ටම ප්‍රමාණවත් නොවීම යන හේතු සාධක නිසාය.

එසේම තමාට යම් රෝග තත්ත්වයක් ඇතිවී ඇති බව දැනුණොත් සමාජයේ විවේචනයට ලක්වෙතැයි සිතනා බොහෝ යුවතියන් ප්‍රතිකාරවලට යාම සඳහා භීතියක්, ලැජ්ජාවක් දක්වන බවත් කිව යුතුය.

ප්‍රතිකාර ප්‍රමාද කිරී‍මෙන් තත්ත්වය තව තවත් සංකීර්ණ වනවා මිසක සුව අතට නොහැරෙන බව වටහාගත යුතුයි.

ලිංගාශ්‍රිත රෝගවලට දීර්ඝකාලීනව ප්‍රතිකාර නොකිරීමෙන් ස්‍රෝණි ප්‍රදාහය වැනි රෝග තත්ත්වයන් පවා ඇතිවිය හැකියි. එසේම පසුකාලීනව වඳභාවය වැනි සංකූලතා ඇතිවීමටද බැරි නැත.

HIV වැනි ආසාදන හඳුනා නොගතහොත් වසර ගණනාවකට පසු එය ඒඩ්ස් රෝගය බවට පත්වීම නිසා අදාළ තැනැත්තා මියයාමටද ඉඩ ඇත.

ඔබ ඉහත කිව් වයස් සීමාවේ ළාබාල යුවතියක් නම් අනාරක්ෂිත ලිංගික සබඳතාවකට පසු ඉවසාගත නොහැකි යටිබ​ඩේ වේදනාවක්, අසාමාන්‍ය යෝනි ස්‍රාවයක් නැතිනම් යෝනි මාර්ගයේ ලිංගික ඉන්නන්, ලිංගික තුවාල වැනි අසාමාන්‍ය වෙනසක් ඇත්නම් බලා නොහිඳ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීමට ඉක්මන් විය යුතුය. ළඟම ඇති ලිංගාශ්‍රිත රෝග සායනයකට සහභාගි වී ඒ අවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර නොමිලේම කරගැනීමටද හැකියාව ඇත.

අනාගත ඉලක්ක, අරමුණු කරා ගමන් කරනා යොවුන් තරුණ තරුණියන් නිසි වයස එළැඹෙන තුරු හෝ තමාට සුදුසු සහකරු සහකාරිය හමුවනතුරු ලිංගික හැඟීම් කළමනාකරණය කරගැනීම වඩා හොඳය.

එසේ නැතහොත් ලිංගික එක්වීමකදී ආරක්ෂක ක්‍රමවේදයක් භාවිතා කිරීමට ඔබ බුද්ධිමත් විය යුතුය. එමගින් ලිංගාශ්‍රිත රෝග පමණක් නොව අනවශ්‍ය ගැබ්ගැනීම් පවා වළක්වා ගත හැකිය.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

I.L.ජයවීර

MBBS.PG.Diploma, MD (Venereology)

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි