විශේෂාංග

ඔසප්වීම හරියට වෙන්නෙත් නෑ. ඒ මදිවට මේ මිනිහා මං කියන දේ පිළිගන්නෙත් නෑ

ලිංගාශ්‍රිත රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය

I.L. ජයවීර

MBBS. PG Diploma

MD (Venereology)

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන

නිසි ප්‍රතිකාර මගින් ඕනෑම ලිංගාශ්‍රිත රෝගයක් නිට්ටාවට සුව කිරීමට හෝ මැනවින් පාලනය කිරීමට හැකිය. ඒ නිසා එවැනි රෝගයක් ඇතිවිට අපවාදවලට බඳුන් වේ යැයි බියෙන් කල්මැරීමට යාමෙන් සිදුවන්නේ කබලෙන් ලිපට වැටීමය.

ඒ නිසාම ඔබේ දැනුවත්භාවය පිණිස මගේ වෘත්තීයමය අත්දැකීමක් මෙලෙස ඔබත් සමඟ බෙදාගැනීමට සිතුවෙමි. ඔබ මෙවන් සිදුවීමකට මුහුණදුනහොත් එහිදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම මගේ අරමුණයි.

සැබෑ නම් ගම් හෙළි කිරීම සුදුසු නැති නිසා මෙම ලිපියට ප්‍රස්තුත වන යුවළ මම නයෝමි සහ කසුන් ලෙස හඳුන්වමි.

නයෝමි වයස අවුරුදු 30ක එක්දරු මවකි. ඔවුන්ගේ යුග දිවියට කණ කොකා හැඬීමට පටන්ගෙන තිබුණේ කාලයක සිට නයෝමිට ඇතිවුණු ඉවසාගත නොහැකි යටි බඩේ වේදනාව සහ ලිංගික ඇසුරේදී ඇයට ඇතිවන අසාමාන්‍ය වේදනාව නිසාය.

‘‘මෙයා මාත් එක්ක එකතු වෙන්න තියෙන අකමැත්තට ඔය බොරු කියන්නෙ ඩොක්ටර්. මම නම් මේ ගමන ආවෙත් මෙයාගේ අම්මලගේ බලකිරීම නිසයි. නැත්නම් මේක මහ බොරු ගමනක්.’’

කසුන් පවසා සිටියේය. ඔහු තමාගේ බිරිඳ පිළිබඳව වැරදි වැටහීමක සිටිනා බව තේරුම්ගත් නිසාම ඇය පවසන කරුණු ඇත්ත වුවත්, බොරු වුවත් ඒ සියල්ල වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු කරගත හැකි බව මා අවධාරණය කළෙමි. පසුව නයෝමිට ඇති අනෙකුත් අපහසුතා ගැනත් මම ඇයගෙන් ප්‍රශ්න කළෙමි.

‘‘මාසික ඔසප්වීමවත් හරියට වෙන්නේ නැහැ. ඒ මදිවට මේ මිනිහත් මම කියන දේ පිළිගන්නේ නැහැ. මට නම් දැන් ජීවිතේම එපා වෙලා තියෙන්නෙ දොස්තර මහත්තයෝ….’’

තත්ත්වය හේතුවෙන් නයෝමි දැඩි පීඩනයකට ලක්ව සිටිනා බව පැහැදිලිය. ඇතැම් විටෙක ඔසප්වීම් දෙකක් අතර කාලයේදීත්, ලිංගික සංසර්ගයෙන් පසුවත් යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වන බවත්, තවත් විටෙක යෝනි මාර්ගයෙන් කහ හෝ කොළ පැහැයට හුරු අසාමාන්‍ය යෝනි ස්‍රාවයක් පිටවන බවත් ඇය තවදුරටත් පැවසුවාය.

රෝග ලක්ෂණ පැවසූ පමණින් රෝගය කුමක්දැයි හඳුනාගැනීමේ ඉවක් තිබුණද සායනිකව රෝගය විනිශ්චය කිරීම ඉතා වැදගත් බැවින් මම ඇයව කායික පරීක්ෂාවකට බඳුන් කළෙමි. පසුව ඇගේ ගැබ්ගෙල නියැදිද පරීක්ෂා කළෙමි. එම පරීක්ෂණ මගින් තහවුරු වූයේ ඒ වනවිටත් නයෝමි ‘ශ්‍රෝණි ප්‍රදාහය’ නමැති රෝග තත්ත්වයෙන් පීඩා විඳිනා බවය.

ශ්‍රෝණි ප්‍රදාහය නමැති තත්ත්වය ඇති වීමට ප්‍රධාන වශයෙන් පාදක වන්නේ ගොනොරියාව සහ ක්ලැමීඩියාව යන ලිංගික රෝග ද්විත්වය සාදනු ලබන බැක්ටීරියා වර්ග දෙකයි. මේ තත්ත්වයේදී සිදුවන්නේ පෙරකී බැක්ටීරියා වර්ග දෙක ගර්භාෂයේ ශ්‍රෝණි කුහරය දක්වා පැතිර එම ඉන්ද්‍රීයන් ආසාධනයට ලක්කිරීමය.

ඉන්පසු මතුවූයේ නයෝමිගේ සිරුරට ගොනොරියාව සහ ක්ලැමීඩියාව වැනි ලිංගාශ්‍රිත රෝග ඇති කරන බැක්ටීරියා වර්ග ඇතුළු වූයේ කෙසේද යන ගැටළුවයි.

ප්‍රතිකාර සඳහා මේ ගැටළුවට පිළිතුරු අත්‍යවශ්‍ය බැවින් මම කසුන්ගෙනුත් නයෝමිගෙනුත් මේ පිළිබඳව වෙන වෙනම ප්‍රශ්න කළෙමි.

ඒ ගැටළු හමුවේ තමා කිසිදිනක වෙනත් පුද්ගලයෙකු සමඟ ලිංගික සබඳතා පවත්වා නොමැති බව නයෝමි පැවසුවේ මහ හඬින් කඳුළු සලමිනි.

ප්‍රශ්න ඇසීම ආරම්භයේදී මුනිවත රැකි කසුන් ඔහුගේ හඬ අවදි කළේ ලිංගික සායනයේදී කරුණු කාරණා සඟවා කතා කිරීම උගුරට හොරා බෙහෙත් බොන්නාක් වැනි ක්‍රියාවක් බව මා පැහැදිලි කළ පසුවය.

‘‘මාත් එක්ක කෝච්චියේ වැඩට යන ගෑනු කෙනෙක් එක්ක මගේ පොඩි ඇයි හොඳයියක් තිබුණා. ඇත්තම කිව්වොත් ඒ ගෑනු කෙනා එක්ක මම දවස් දෙක තුනක්ම එකටත් හිටියා.’’

දුම්රියේදි අහම්බයෙන් හමුවූ කාන්තාවක් සමඟ පැවැත්වූ ලිංගික ඇසුර පිළිබඳව කසුන් පැවසූයේ වරදකාරී ස්වභාවයෙන්ය. ඒ පිළිබඳ කරුණු කාරණා නයෝමි සමඟ නොපවසන මෙන් ඔහු මගෙන් බයාදුව ඉල්ලීම් කළ අතර ලිංගික සායනයකදී අතිශය පෞද්ගලික ලිංගික කරුණු කාරණා කිසිවෙකුටත් හෙළිකිරීම වෛද්‍යවරයාගේ වගකීම නොවන බව මම ඔහුට මැනවින් පැහැදිලි කළෙමි.

කෙසේ වුවත් නයෝමිට වැළඳී ඇති රෝගය පිළිබඳව ඇයට පැහැදිලි කිරීමට මට සිදුවූයේ මේ පිළිබඳව ඇයගේ දැනුවත්භාවය වැදගත් නිසාය. එසේම තත්ත්වය මැනැවින් පාලනය කළ හැකි නිසා මේ පිළිබඳව අනවශ්‍ය භීතියක් ඇති කර ගත යුතු නැති බව තවදුරටත් මම ඇයට පැහැදිලි කළෙමි.

නයෝමිට වැළඳී තිබුණු ශ්‍රෝණි ප්‍රදාහය නමැති මෙම රෝගය මූලික අවධියේදීම හඳුනාගැනීම වැදගත් වන්නේ පෙරකී බැක්ටීරියා පැලෝපීය නාල සහ ඩිම්බ කෝෂ දක්වාද පැතිර යා හැකි නිසාය. එවිට පැලෝපීය නාල සහ ඩිම්බකෝෂ ආශ්‍රිතව තන්තුමය පටක වර්ගයක් ඇතිවී එම අවයව ඝනවීමක් සිදුවේ. එවැනි ඝනවීමක් එනම් තන්තුමය තත්ත්වයක් ඇති වුවහොත් එම තත්ත්වය නිට්ටාවට සුව කිරීම අපහසු වන අතර, තත්ත්වය නිසාම අදාළ කාන්තාව වඳභාවයට හෝ මඳසරුභාවයට පත්වීමටද ඉඩ ඇත.

එපමණක් නොව මේ නිසා ගර්භාෂයෙන් පිටත නාලයේ දරුවන් පිහිටන අවස්ථා පවා අපට හමුවී ඇත. එවැනි අවස්ථා කලින් හඳුනා නොගතහොත් එම නාලය පුපුරාගොස් අදාළ කාන්තාව මියයාමට වුවත් ඉඩකඩ ඇත.

නයෝමි රෝගයේ මූලික අදියරේ පසුවූ නිසා ප්‍රතිජීවක ඖෂධ හා එන්නත් මගින් ඇයගේ සංකූලතා නැවත ඇති නොවන ලෙස ඇයගේ රෝගය නිට්ටාවට සුව කිරීමට හැකි විය.

නයෝමිගේ සැමියා කසුන්වද ක්ලැමීඩියා සහ ගොනොරියා යන රෝග සඳහා ප්‍රතිකාර වෙත යොමු කෙරුණු අතර වෙන්වීමට ගිය මේ පවුල උපදේශන මගින් නැවත ළංකරවීමටද හැකිවිය. එසේම යහපත් ලිංගික සබඳතාවයක් පවත්වාගැනීමට අදාළ උපදෙස් රැසක් මා ඔවුන්ට ලබාදුන්නේ ඉදිරියේදී මෙවන් ගැටළු ඇතිවීම වළක්වාලීම සඳහාය.

මොහොතක ආශ්වාදය උදෙසා අනාරක්ෂිත ලිංගික එක්වීම්වලට යොමුවීමෙන් මෙවැනි අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණදීමේ අවදානමක් ඇතිවන බව ඔබ තේරුම්ගත යුතුයි. එසේම ඕනෑම ලිංගාශ්‍රිත රෝගයක් සඳහා වෛද්‍ය උපෙදස් ලබාගැනීමට කිසිවෙකුත් කිසිවිටෙකත් පසුබට නොවිය යුතු බවත් පැවසිය යුතුමය.

සෙව්වන්දි හෙට්ටිආරච්චි