විශේෂාංග

අවුරුදු 53ක් විශාඛා දියණිවරුන්ට රැකවල් සැදූ ‘විල්සන් අංකල්’

සෙනරත් දසනායක කියනවාට වඩා බොහෝදෙනෙක් ඔහුව දන්නේ විල්සන් අංකල් කී විටය. වසර පනස් තුනක් විශාඛා දියණිවරුන්ට ආදරය රැකවරණය දෙමින්ද, එම භුමියේ දේපළ තමාගේ මෙන් සුරකිමින්ද, තමා වෙත පවරාගත් වගකීම අකුරටම ඉටු කරමින්ද හෙතෙම කළ කාර්යයට පසුගියදා විරාමයක් ලැබුණි. ඒ සොබාදහමට අනුවය. ඒ වනවිට විල්සන් අංකල්ගේ වයස අවුරුදු අසූ තුනකි. ජීවිතයෙන් සමුගෙන ගියත්, විශාඛා දියණිවරුන්ට ඔහුගේ මතකය අමතක කළ නොහැකිය. ඒ ඔහු විශාඛාවේ එක්තරා සළකුණක් තරමටම එහි තබාගිය මතක සටහන් හේතුවෙනි. බාලිකා පාසලක දියණිවරුන්ට මුරකරුවෙකුට එහා ගිය එවැනි පියෙකු ලැබීම වාසනාවකි. විල්සන් අංකල්ගේ මුවරැඳි ළෙංගතු සිනහව, ආදරබර කතාව තුළින් දශක පහකට වඩා කාලයක් විශාඛා දියණිවරුන් අත්වින්දේ පීතෘ සෙනෙහසයි.

—————

කිරිකොක් රෑනක් සේ පාසල් ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිම, විශාඛා දියණියන් දකින්නේ ඒ ඉනාවක් වැනි සිනහවය. විල්සන් අංකල්ගේ රුව දැකීම දැරියන්ට ගෙදර කෙනෙකුන් දකිනවා හා සමානය. ඒ තරමටම විල්සන් අංකල්ගේ මුවින් නැගෙන ආශිර්වාදයට ඔවුන් ප්‍රියය.

ගුඩ්මෝනිං බබා.

ඔවුන්ගේ තරාතිරම කුමක් වුවත්, ඔහු ඒ සැවොම ආමන්ත්‍රණය කළේ එකම විලසිනි. පුංචිම පැංචියන්ගේ සිට දොළහ, දහතුන වසර සිසුවියක වුව ඔහුට ‘බබා’ ය. බබා වෙලාවට එන්න ඕන, වෙලාවට කලින් එළියට යන්න බෑ  ඔහුගෙන් ලැබෙන අවවාදය ගුරුවරුන්ටත් වඩා විටෙක තදය. ඒ නිසා හදිසියකටවත් විල්සන් අංකල්ගේ ඇස්වලින් බේරීයාම නම් කිසිවිටකත් කළ නොහැක්කකි.

විශාඛා ආදි සිසුවියක් ඔහු ගැන ඒ මතකය සිහිපත් කළේ මෙසේය.

විල්සන් අංකල් කිව්වම ප්‍රින්සිපල්ටත් වඩා බලතල තියෙන කෙනෙක් විදියට තමයි අපි ඒ කාලේ දැක්කේ. නීති අකුරට ක්‍රියාත්මක වුණා. ගේට් එකෙන් ඇතුළු වෙන තැනම තිබුණු ඔෆිස් එක විල්සන් අංකල්ගේ වුණාට, ඔහු ඉස්කෝලේ හැමතැනම හිටියා. මේ ළමයා මෙහෙමයි කියන්න විල්සන් අංකල් හැම ළමයෙකුගේම පසුබිමත් හොින් දැනගෙන හිටියා. ඒ නිසා බොරුවක් කියන්න අමාරුයි.

ඉස්කෝලේ ගේට් එකෙන් ඇතුළට ආවට පස්සෙ මොන හේතුවකටවත් ආයේ එළියට යන්න බෑ. ඒ වගේම ඉස්කෝලෙට තිබුණු එකම කාසි දාන ෆෝන් බොක්ස් එක තිබුණේ විල්සන් අංකල් හිටපු ඔෆිස් එක ඉස්සරහ කොටසේ. ඒකෙන් කෝල් ගන්නත් එයාගෙන් අවසර ඕනේ.

ඒ සියල්ලම ඔහු කළේ සිසු දැරියන්ගේ ආරක්ෂාව ගැන සිතාය. පාසල ඇරෙන වෙලාවට හොස්ටල්වල සිටින ළමුන්ද ඇතැම්විට එළියට යාමට උත්සුක වන අවස්ථා තිබේ. එහෙත් ඔවුනට විල්සන් අංකල්ගේ දෑස් මඟහැර යාමට නොහැක්කේ ඒ මුහුණු සියල්ලක්ම වාගේ ඔහුට මතක හෙයිනි. ඒ වාගේම පාසල් වෑන්රිය මඟහැරෙන දැරියක සිටියහොත්, ඇයගේ දෙමව්පියන් පාසලට පැමිණ ඇය රැගෙනයන තුරුම පාසලේ රඳවා තබාගන්නේ විල්සන් අංකල් භාරයේය. ඔහු දැරියන්ගේ ආරක්ෂාව ගැන ඒ තරමටම කල්පනා කළ අයෙකි.

ඒ වගේම තමයි බැරිවෙලාවත් ක්ලාස් එකක් කට් කරලා ඇවිද ඇවිද ඉිද්දී විල්සන් අංකල්ව දැක්කොත් අපි ෂේප් එකේ මාරුවෙන්න තමයි බලන්නේ. පොඩි පන්තිවලදී අපි ඔහුට ගොඩක් බයයි. ඒත් ඒලෙවල් කරද්දි ඔහු අපිට යාළුවෙක් වගේ. හැබැයි ඔහුගේ නීතිය අකුරටම තිබුණා. විල්සන් අංකල් එක්ක වැඩිපුරම තරහ පිරිමි ඉස්කෝලවල ළමයි. බිග් මැච් කාලෙට පිරිමි ඉස්කෝලවල ළමයි විශාඛා එක ඇතුළට පනින්න සූදානමින් ඉන්නවා. විල්සන් අංකල් තමයි ඔවුන්ට තිබුණු ලොකුම බාධකය. ඒ දවස්වලට අංකලුත් පුළුවන් හැම විදිහටම ගේට්ටුව මුර කරගෙන ඉන්නවා. ඔයඅතරේ ඉලා හිටලා පිරිමි ළමයි තාප්පෙන් ඇතුළට පැන්නොත් පස්සෙන් එළවගෙන ගිහින් ඔවුන්ව එළියට දානවා. ඒ දේවල් අපිට ඒ කාලේ විනෝදයක් වුණාට එහි බරපතළකම පසුවයි තේරුම් ගියේ. මට මතකයි වරක් ප්‍රසිද්ධ පාසලක පිරිමි ළමයි ටිකක් (බිග් මැච් කාලේ) ගේට් එක ළට ඇවිත් කැරකි කැරකි ඉලා අන්තිමට විල්සන් අංකල්ව උස්සගෙන ගියා. ඉස්කෝලෙන් ටිකක් එහා තැනක ඔවුන් විල්සන් අංකල්ව අතෑරලා ගිහින් තිබුණා. ඒ වගේ හිරිහැරවලට ලක්වුණත් විල්සන් අංකල් රාජකාරිය අකුරටම ඉටුකළා.

ඇය කීවාය. බිග් මැච් කාලයට අසංවර වැකි ලියූ විවිධ පෝස්ටර් පාසල් තාප්පයේ අලවා තිබෙනු දකිද්දී, විල්සන් අංකල්ට යකා නගියි. ඔහුට ඒවා එකින් එක ඉරා දමන්නට වැඩිවෙලා යන්නේ නැත.

විල්සන් අංකල් විශාඛාවේ විදුහල්පතිවරියන් කිහිපදෙනෙකුම සමඟ සේවය කර තිබේ. ඔහු ගුරුවරයින්ට දක්වන ළෙංගතුකමේද අඩුවක් නැත. දවසම පාසලේ කාලය ගතකරන ඔහු සවස් කාලයේ සෑම ගොඩනැගිල්ලකම ඇවිද බලයි. බැරිවෙලාවත් විදුලි පංකාවක් කැරකෙමින් තිබුණේ නම් පසුවදාට බැණුම්ය.

ඇත්තටම විල්සන් අංකල් කියන්නේ බොහොම ගුණයහපත් චරිතයක්. විශාඛා දියණියන්ට පියෙක් වගේම, ගුරුවරුන්ට ගෞරවය දී කතා කළ කෙනෙක්. ඒ වගේම වැරැද්දක් තිබුණොත් ඒ ගැන මූණටම කියන්න තරම් එඩිතරයි.

ඔහු ප්‍රායෝගිකව, තමන්ගේ වගකීම් හුනගෙන ජීවත් වුණ අයෙක්. අපි මුහුණ දෙන ගැටළුවකදී වුණත් ඔහුට ප්‍රායෝගික විසුම් තිබුණා. මම 2014 තමයි විශාඛා විද්‍යාලයට එන්නේ. දවසක් හදිසියට අමතකවීමකින් යතුර අත්බෑගයේ තිබියදී සංගීත කාමරයට මම ඉබ්බා දාලා තිබුණා. අත්බෑග් එක තිබුණෙත් කාමරේ ඇතුළේ. එදා මම වෙනත් රාජකාරියකට ඉක්මනට එළියට යා යුතුව තිබූ දවසක්. ඒ ගැන විල්සන් අංකල්ට කිව්වම යතුරු ගොඩක් තියෙන ලොකු යතුරු කැරැල්ලක් ගෙනැත් එකින් එක දාලා බලලා දොර ඇරලා දුන්නා. ඒ වෙලාවට, ඉතින් පොඩි සැර පාරක් දානවා. ඒත් මේ වසර පනස් ගණන තුළ විශාඛාවට ඔහුගේ සොයාබැලීම් වගේම, කැපකිරීම් අතිමහත් බව ඔහු ගැන දන්න කවුරුනුත් බොහොම ආදරයෙන් සිහිපත් කරනවා.

විද්‍යාලයීය සංගීත ආචාරිනී, සරෝජා හේවාවිතාරණ මහත්මියයි.

විශාඛා දියණියන් කියනා පරිදි ඔහු පාසලේ නැති වෙලාවක් සොයාගැනීමට අපහසු විය. මාස දෙකකට පමණ වරක්, තමන් උපන් ගම වූ මාතරට ගොස් පැමිණයද ඒ ඉන්නේ දිනක් හෝ දෙකකි. ඔහු අවිවාහකයෙකු වුවද, දියණිවරුන් ගොන්නකට සැබෑම පියෙකු විය.

නිතර නිල්පාට යුනිෆෝමයෙන් දැකිය හැකි විල්සන් අංකල් සුදු ඇඳුමින් දැකගන්නට හැකි දවස වන්නේ පාසලේ පිරිත සහ දානය ඇති දාටය. පාසලේ කුමන කටයුත්තකදී වුවද ඔහුට හැකි උපරිම දායකත්වය ලබාදීම කරන්නේ, විටෙක බලා සිටින්නන්ද පුදුම කරවමිනි.

අනතුරුව විල්සන් අංකල් ගැන කතා කළේ විශාඛා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරියකි. ඇය ආදි විශාඛා දියණියකද වෙයි.

මම ඉගෙනගන්න කාලේ ජයසිංහ මැඩම් තමයි ප්‍රින්සිපල් තනතුරේ කටයුතු කළේ. එතකොට විල්සන් අංකලුත් ඉන්නවා. අපි ඒ දවස්වල පුංචි ළමයි හැටියට විල්සන් අංකල්ට බයයි. මට මතකයි ඔහු එතකොට තරුණයි. දැන් පාසලට පෞද්ගලික අරක්ෂක අංශයක සේවය ලබාගත්තත්, එතකොට පාසලේ ගේට්ටු දෙකම බලන්නේ විල්සන් අංකල්. ඔහු බොහොම කඩිසරව, එහා මෙහා දුවමින් ඔය බබා මේ ගේට්ටුවෙන් යන්න ඕන කියලා ගේට්ටුව පවා කියනවා. ඔහොම කාලයක් ගිහින් මම ගුරුවරියක් හැටියට විශාඛාවට එද්දිත් විල්සන් අංකල් ඒ විදිහමයි. මම මේ අහවලා කියලා කිව්වම, ආ මේ ඒ බබාද කියලා බොහොම සුහදව කතාබහ කරලා මාව පිළිගත්තා. ඔහු හැමෝටම ඒ වගේ සුදහශීලීයි.

ප්‍රියමනාප කතාබහ තරමටම පිළිවෙලට ලස්සනට අඳින්නට ඔහු කැමතිය. 2020 පළමු කොරෝනා රැල්ලට පාසල් වසද්දී, විල්සන් අංකල්ටද මාතර යාමට සිදුවිය. ඔහු කොළඹ ඉන්නට කැමති වුවත්, අසූ දෙහැවිරිදි වියේ සිටියෙන් ඔහුගේ ආරක්ෂාවට එය සුදුසු තීරණයක් විය. ඔහු බලාකියාගත්තේ සිය සහෝදරියගේ පුතෙකු විසිනි.

මාතර ගියත් අපි විල්සන් අංකල්ගේ සැපදුක් විමසුවා. විල්සන් අංකලුත් හොටම අසනීප වෙන්න කලින් අපට කතා කරලා සැපදුක් අහනවා. ඔහු අසනීපව සිටියදීත් පාසල් ආදි ශිෂ්‍ය සංගමය වගේම පාසල් සංවර්ධන සමිතිය මගින් අවශ්‍ය දේ සපයා දුන්නා. විල්සන් අංකල්ව ගමේ යැව්වෙ කොරෝනාවෙන් බේරාගන්න තිබුණු උවමනාවත් එක්කයි. වයසත් එක්ක ඇතිවුණු සාමාන්‍ය තත්ත්වයක් අනුව ඔහු ජීවිතයට සමුදුන්නා.

විල්සන් අංකල්ගේ මරණයෙන් පසු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයට අනුවද ඔහුට කොරෝනා වැළඳී තිබුණේ නැත. පිනට දහමටද ලැදි ඔහු කාලයක්ම සිල් සමාදන් වීමටද අමතක කළේ නැත.

විල්සන් අංකල්ව බලාකියාගත්ත පුතාගෙන් අපට දැනගන්න ලැබුණා, ඔහු ජීවිතේ අන්තිම කාලයෙත් විද්‍යාලයට මොනතරම් ලැදිව කටයුතු කළාද කියලා. ඔහු හිටපු ගමන් කියනවලු, කෝ මගේ යුනිෆෝම් එක ගන්න, මට ඉස්කෝලෙට යන්න ඕන කියලා. ඒ වෙලාවට, මේ ඉන්නෙ මාතර කියලා කිව්වම ඔහු එය මතක් වෙලා හිනාවෙනවලු. ඒ වගේ අවසන් මොහොත දක්වාම විද්‍යාලය එක්ක බැුනු අපූරු සම්බන්ධකමක් ඔහුට තිබුණා.

ඒ සම්බන්ධය ඇතිවන්නේ රජයෙන් ලද පත්වීමක් නිසා නොවේ. එහෙත්, පාසල් සංවර්ධන සමිතිය මගින් ඔහුට වැටුප් දුන්නේ ඒ වැටුපට වඩා සේවයක් ඔහු වෙතින් සිදුවූ නිසාය. වයස හැටපහෙන් පසුවද ඔහු විද්‍යාලයේ කාර්යාල කටයුතුවලටද සහාය වෙමින් කටයුතු කළේය. ඔහුගේ සේවය පාසලේ තවදුරටත් තබාගනිමින් ආදි ශිෂ්‍ය සංගමය ඔහුව මියෙනතුරුම බලාගත්තේ පියෙකු තරම් ළෙංගතුවයි.

එම ළෙංගතුකම මරණයෙන් නවතින්නක් නොවේ.

මිනිසෙකුට මිනිසෙකු වන්නට පොතපතේ දැනුම වාගේම ප්‍රායෝගික දැනුමද අවශ්‍යය. විල්සන් අංකල් ඒ අතින් තමා ලොකු මිනිසෙකු බව ඔප්පු කළේය. ඒ ලොකු මිනිසාට විශාඛා දියණියන්ගේ සිත්වල ලොකු ඉඩක් තිබේ. විල්සන් අංකල් එසේ ඉතිරිකර තැබූ ඒ සියලු ගුණාංග ඕනෑම පාසල් සමාජයකට ආදර්ශයකැයි කියන්නට තරම් අප නිර්ලෝභී විය යුතුය.

දීපා වසන්ති එදිරිසිංහ