විශේෂාංග

ගෙවල්වල බාත්රූම් හැදෙනකොට අප්සට් වෙන යකෙක්

‘‘නම් මහ ජරා යකෙක්’’

විවිධ අයථා බලපෑම් කරන්නවුන් සම්බන්ධයෙන් බොහෝ කාන්තාවෝ එසේ කියති. එහෙත්, ජනවහරේ පවතින කතා ගැන විමසිලිමත් වෙද්දී යකුන් අතරේද එවැනි ජරා වැඩවලට නම් දැරූ ‘ජරා යකුන්’ සිටි බවක් පෙනේ. ඇතැමුන් යකෙකු සේද, තවත් පිරිසක් දෙවියකු සේද හඳුන්වන ‘අබිමානා’ එවැන්නෙකි.

මුළුමනින්ම පාහේ ජන අවධානයෙන් ගිලිහී තිබූ මේ ‘අබිමානා’ නැවත කරළියට පිවිසෙන්නේ ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක 1974 වසරේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකක් සඳහා ගැයූ ගීතයකිනි. ප්‍රවීණ ගීත රචක ප්‍රේම කීර්ති ද අල්විස් විසින් ලියන ලදුව වික්ටර් රත්නායකය විසින් සංගීතවත් කොට ගායනා කරන ‘බින්දුමතී’ ගීතය ‘අබිමානා’ නැවත කරලියට කැඳවූ ගී නිර්මාණයයි.

බින්දුමතී නම් ගැමි තරුණියක් වෙත කරන ප්‍රේමාරාධනයක් සේ ප්‍රබන්ධ වූ ඒ ගීතයෙන් රචකයා එම තරුණියට අවවාදයක්ද දෙයි. ඒ ‘තොට ළඟටා යන්න එපා අබිමානා එයි’ යනුවෙනි. ඊට හේතුව මෙම ‘අබිමානා’ නම් යක්ෂයා ‘ජාම වෙලාවන්’ හිදී කාන්තාවන් දියනාන ස්ථාන හෙවත් නාන තොටවල් ආශ්‍රිතව සැරිසැරීමය. හිරු නගින, මුදුන්වන සහ හිරු බසින අවස්ථා මුල්කොට දහවල් කාලයට එළැඹෙන ‘ජාම වෙලාවන්’ තුනකි. අතීතයේ මේ ජාම වෙලාවන් තුළ කාන්තාවන් මඟතොටට බැසීමට, නානතොටට යාමට මැලිවුණේ මෙබඳු අමනුෂ්‍යයන්ගේ බැල්මට ගොදුරු වේය යන බියෙනි. මෙහිදී ‘අබිමානා’ කරනුයේ එම නාන තොටවල්වල රෙදි පෙරදි ලිහිල් කරමින් දින නාන, ඇඟ අතුල්ලන තරුණ කාන්තාවන් දෙස ආශාවෙන් බලා සිටීමය. එවිට අබිමානාගේ ඇල්මට බැල්මට යොමුවන කාන්තාවෝ එම අමනුෂ්‍ය දෝෂයට නතුවෙති. උණ ගතිය, කෑම අරුචිය, තෝන්තු ස්වභාවය සේම ඇතැම්විට සිහි විකල් වී නන් දෙඩවීමට පටන් ගැනීම මෙම අමනුෂ්‍ය දෝෂයේ කෙටිකාලීන ලක්ෂණ අතරට ගැනෙන අතර, කිලි මාලය, මාස් මාලය නමින් හැඳින්වෙන අක්‍රමවත් මාස් ශුද්ධිය සහ මාස් ශුද්ධියේදි අධික රුධිර වහනයක් සිදුවීම මෙහි දිගුකාලීන ලක්ෂණ ලෙස සැලකෙයි. කාන්තාවන් මෙම තත්ත්වයෙන් මුදාගත හැක්කේ ඒ සඳහා වන ශාන්තිකර්ම මගින් පමණක්ය යන්න සමාජයේ මුල් බැසගත් ජන විශ්වාසයකි.

අපගේ ජන විශ්වාසයේ එන අන්දමට අබිමානා මෙලෙස බැලුම් හෙළනුයේ නාන තොටවල දියනාන කතුන්ට පමණක් නොවේ. වන රොදවල සහ වෙනත් එළිමහන් ස්ථානවල ලිංගික කටයුතුවල යෙදෙන කාන්තාවෝ ද අබිමානාගේ ඇල්ම බැල්මට ලක්වෙති. සාමාන්‍යයෙන් කාන්තාවක් නිවසින් බැහැර වන රොදක් වැනි ස්ථානයකදී ලිංගික කටයුත්තකට යොමු වන්නේ අනියම් ඇසුරකදී පමණි. අප අතීත සමාජයේ කතුන් තම දරුවන් නිවසේ සිටින සැමියන්ට බාරදී වන රොදවල බැඳ තබා ඇති ගවයන් රැගෙන ඒමට ගිය ගමන්වලදී තම අනියම් සැමියන් හමුවී වනයේදී ලිංගිකව හැසිරුණ බව මෙරට එළිමහන් සිරකරුවකු වශයෙන් ජීවත් වූ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් ඔහුගේ අනගි ග්‍රන්ථයේ සටහන් කර ඇත. මෙලෙස අවිචාරවත් ලිංගික හැසිරීම්වල යෙදෙන කාන්තාවන්ද අබිමානාගේ ඇල්මට බැල්මට ලක්වීමෙන් රෝගී වන බව ජන විශ්වාසයයි. එනිසාම ඇතැම් කතුන් එවන් නොමනා ලිංගික හැසිරීම් සම්බන්ධයෙන් පසුබාන්නට ද ඇත.

කාන්තා නිරුවතත් කෙරෙහි හෝ ලිංගික ක්‍රියාකාරකමක් කෙරෙහි යමෙකුගේ විශේෂ අවධානයක් යොමුවීම ස්වභාවික තත්ත්වයකි. නමුත් එවැනි දේ බලමින් තෘප්තියක් ලැබීමේ මානසික රෝගයක් ද ඇත. මෙම මානසික රෝගයෙන් පෙළෙන්නවුන් ලිංගික සතුටක් ලබන ප්‍රධානම මාධ්‍යය ඒවා නැරඹීමයි. මෙම රෝග තත්ත්වය හැඳින්වෙනුයේ දර්ශාස්වාදය (Voyeurism) යනුවෙනි. ඒ අනුව අබිමානා ජරා යකෙකුට වඩා මානසික රෝගියෙකු ලෙස සැලකීම සුදුසු යැයි මට සිතේ.

මෙම ‘අබිමානා’ යන නම ‘අභිමානා’ යනුවෙන්ද ඇතැම් නූතන ලේඛනවල සඳහන් වෙයි. එහෙත් එය ඉඳුරාම වැරදිය. මෙම යක්ෂයාගේ හෝ දෙවියාගේ පුරාවෘත්තවල ‘අභිමානයක්’ සම්බන්ධ කිසිඳු සඳහනක් නැත.

ස්ත්‍රී පුරුෂ කායික සම්බන්ධ කෙරෙහි විශේෂ උනන්දුවක් පළකරන අබිමානා කාන්තාවන්ගේ දරු ප්‍රසූතිය නුරුස්න බවටද ජන විශ්වාසයක් තිබේ. ඒ ඇතැම්විට ලිංගික ඊර්ෂ්‍යාව මත පදනම් වුවක්දැයි සැකසහිතය.

මෙම අබිමානා සම්බන්ධ ජනශ්‍රැති, ප්‍රවාද සේම යාතුකර්ම සාහිත්‍යයක්ද තිබේ. මහවැලි අමාත්‍යංශය මගින් 1985 වසරේ එළිදක්වන ලද මහවැලි වංශයේ දෙවන කාණ්ඩයේ සු.බ. හේරත් ශූරීන් විසින් ලියන ලද ‘ගැමි ඇදහිලි හා ආගම්’ ලිපියේ එන අබිමානා සම්බන්ධ කවියක් මෙලෙසිනි.

අබිමානයා රට තොට අල්ලන්නේ

දුටු දුටු ලිය නම ලෙඩ කරවන්නේ

කටුවම උඩරට වාස කරන්නේ

හැට හතරක් පෙළපාලි කරන්නේ’

ඉන්දියාවේ ඔඩ්ඩිස දේශයේ ඉපිද මෙහි පැමිණි බව පැරණි යාතුකර්ම කවිවල සඳහන් මොහු ගංජා පානයට ඇබ්බැහි වූවක් බවද කියනු ලැබේ.

අතීතයට සාපේක්ෂව ගංගා ඇළ දොල ආදියෙන් දිය නාන කාන්තාවන්ගේ සංඛ්‍යාව අද වනවිට සීඝ්‍රයෙන් අඩුවී තිබේ. විවිධ අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා එම ජල මූලාශ්‍රවල ජලය බරපතළ ලෙස දූෂණය වීම සේම නාගරික සමාජ ලක්ෂණයක් වන නානකාමර ගම්බද ප්‍රදේශ දක්වාද ව්‍යාප්ත වී තිබීම ආදිය ඊට හේතු වී තිබේ. අබිමානාගේ මෙම සුපුරුදු චර්යාවන්ට එයද බාධා පමුණුවා ඇති බව නොරහසකි. එමෙන්ම අපගේ ගැමි කාන්තාවන් දිය නාන අයුරු බලා හිඳන අබිමානාට ගල්කිස්ස, හික්කඩුව, මාතර, තංගල්ල ආදී සංචාරක කර්මාන්තයට ප්‍රසිද්ධ කලාපවල යුරෝපීය කාන්තාවන් යන්තම් විලි වැසෙන ඇඳුම්වලින් සැරසී මුහුදු වෙරළේ විනෝදමත් වන අයුරු නොපෙනීම පුදුමයකි. එමෙන්ම නූතන තරුණ පරපුර නාගරික ප්‍රදේශවල පවා තුරුලිය බහුල ස්ථාන මුල්කොට ප්‍රේමාලිංගන කටයුතු කරනු අබිමානා තවමත් නොදන්නා බවක් පෙනෙනුයේ එබඳු තරුණියන් වෙත අබිමානාගේ ඇල්ම බැල්ම යොමු නොවන බැවිනි.

ඒ අනුව මේ සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී ඉතා පැහැදිලිව පෙනී යන දෙයක් තිබේ. එනම් අබිමානා නමින් හැඳින්වෙන ‘ජරා යකා’ හෝ මානසික රෝගියා හුදෙක් ජන මනැසේ ස්ථාපිත වූ කල්පිතයක් සමාජගතවීමක් මිස එවැනි යකෙකු හෝ දෙවියෙකු මෙලොව කොතැනකවත් ඇත්තේම නැති බවකි.

තිලක් සේනාසිංහ