නවතම ප්‍රවෘත්ති

කිරුළ දිනන්න කලින්ම මට ‘බියොන්සේ’ කියලා නමකුත් වැටුණා – වරුණි රණතුංග

“මං වගේ කළු පාට හමක් තියෙන කොට කොණ්ඩයක් තියෙන කෙනෙක්ව ලස්සනයි නොකියපු ලෝකයක තමයි මම මෙච්චර කාලයක් ජීවත් වුණේ. ඒත් මම හිතනවා අද ඉඳන් ඒක වෙනස් වෙයි කියලා.”

2019 අවුරුද්දේ විශ්ව රූ රැජින වුණාට පස්සේ සොසිබිනී ටුන්සි කියන කළු ජාතික කෙල්ල කියපු කතාවක් තමයි ඕක. කළු වුණාට ටුන්සිගෙ හම පැහැපත්. ඒ විතරක් නෙවෙයි තරඟය වෙලාවේදී අහපු ප්‍රශ්නවලට ඇය පිළිතුරු දුන්නෙත් බොහොම බුද්ධිමත් විදියටයි. ඒ නිසා ටුන්සි කියන මේ දකුණු අප්‍රිකානු තරුණිය එවර විශ්ව රූ රැජින කිරුළ දිනාගත්තා. රූ රැජිනක් වෙන්න සම සුදු වෙන්නම ඕන නැහැ කියන්න ඒ කතාවත් හොඳ උදාහරණයක්. ඒ කතාවේ වගේම මේ ළඟදි පැවැත්වුණ 2024 ගෝලීය රූ රැජින (Miss Global International) තරඟයේදීත් ඒ හා සමාන සිදුවීමක් සිද්ධ වුණා. චීනය, ඉන්දියාව, කසකස්ථානය, මැලේසියාව වගේ රටවල් නියෝජනය කරලා ආපු සුදුවන් තරුණියන් 22ක් පරදවලා දුඹුරුවන් කෙල්ලෙක් මුල් තැනට ආවා. මේ ජයග්‍රහණය අපිට විශේෂ එකක් වෙන්නේ ඒ දුඹුරු ළමිස්සි අපේ රටේ කෙනෙක් වීම නිසයි. වරුණි රණතුංග නම් ඇය තමයි ලංකාවේ පළවැනි වතාවට මේ කිරුළට හිමිකම් කියපු එකම කෙල්ල. ඒ විදියට ලංකාවේ නම රන්දලා කිරුළු දරපු වරුණි තමයි මෙවර ‘ධරණී’ කවරය දරා සිටින්නේ.   

විශ්ව රූ රැජින තරඟය වගේම එක එක රූ රැජින තරඟයන් විවිධ සංවිධාන විසින් ලෝකෙ පුරා පවත්වනවා. ගෝලීය රූ රැජින තරඟය කියන්නෙත් අවුරුදු කිහිපයක් තිස්සේ එහෙම පත්වන තරඟයක්. ඒ තරඟය මෙවර පැවැත්වුණේ නේපාලයේ කත්මණ්ඩු නුවර. ඒකෙදී තමයි ලංකාවේ අපේ වරුණි 2024 ගෝලීය රූ රැජින විදියට අභිසෙස් ලැබුවේ. ඒ විදියට රූ රැජිනක් වෙලා ලංකාවට කීර්තියක් ගෙනාපු වරුණි නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් තියෙන්නේ 2019 අවුරුද්දේ. ඒ ඇගේ පෙම්වතාගේ පෙරැත්තය නිසාලු. ඒ විදියට නිරූපණ ක්ෂේත්‍රයට එන්න කලින් වරුණි ලංකාවේ ප්‍රසිද්ධ නර්තන ශිල්පිනියක්. 

“නර්තන ශිල්පිනියක් විදියට මාව රූපවාහිනියෙන් දකින එක මගේ අම්මාට තිබුණ හීනයක්. මොකද මම පුංචි කාලේ ඉඳන්ම නර්තනයට ගොඩක් දක්ෂයි. ඒ නිසාම 2015 අවුරුද්ද වෙද්දි මට අම්මගේ හීනය හැබෑ කරන්න පුළුවන් වුණා. ඒ සිරසේ වගේම දෙරණ නාලිකාවෙත් නර්තන ශිල්පිනියක් විදියට වැඩ කරමින්. දෙරණ Champion Star වලට පවා මම සහභාගි වෙලා තියෙනවා.”

නර්තනයෙන් ඇය එතරම් දුරක් ආවත් ක්‍රීඩාවෙනුත් ඇය පාසල් කාලේ ඉඳන්ම ඉදිරියෙන්ම ඉඳලා තිබුණා. දැල්පන්දු, පාපන්දු වගේම වොලිබෝල් කණ්ඩායමේත් ඇය මුල්පෙළේ සාමාජිකාවක්. ඒ විතරක් නෙමෙයි ඇය පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායමත් නියෝජනය කරලා තිබුණා. ඒ විදියට පාසල් කාලේ ඉඳන්ම ප්‍රගුණ කරපු හැකියා, අහම්බෙන් තෝරාගත්ත නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්නත් ඇයට විශාල සවියක් වුණා කියලයි ඇය කිව්වේ.

“මම නිරූපණ ක්ෂේත්‍රයට ඇවිල්ලා තාම අවුරුදු පහක් වගේ වෙන්නේ. මුලින්ම පත්තරවල, පොත්වල, සඟරාවල නිරූපිකාවක් විදියට පෙනී සිටියා. ලංකාවේ නිරූපණ තරඟවලටත් ඒ අතර සහභාගි වුණා. 2022 අවුරුද්දේ ලංකාවේ පැවැත්වුණ Top Model Sri Lanka තරඟයට සහභාගි වුණා. ඒකෙන් මට ලැබුණේ දෙවන ස්ථානය. ඊටපස්සේ 2023 අවුරුද්දේත් ඒ තරඟයට සම්බන්ධ වුණා. ඒක ජයග්‍රහණය කිරීමත් එක්ක තමයි 2024 මාර්තු 26 වැනිදා 2024 ගෝලීය රූ රැජින තරඟයේ ලංකාව නියෝජනය කරන්න නේපාලයට යන්න අවස්ථාව ලැබුණේ. පළවැනි තරඟ වටය මාර්තු 27 වැනිදා පටන්ගත්තා. මේක මගේ පළවැනි ජාත්‍යන්තර තරඟ අත්දැකීම වුණත් මම විශ්වාසයෙන් හැම තරඟ වටයකටම මුහුණ දුන්නා.”

ඒ නිසාම  Best personality වගේම Best National Costume කියන උප කිරුළු දෙක හරි දිනනවා කියන විශ්වාසය තරඟයේ මුල ඉඳන්ම ඇය තුළ තිබිලා. අවසානයේ ඒ කිරුළු දෙක විතරක් නෙවෙයි Best evening gone කියන උපකිරුළත් හිමිවෙලා තියෙන්නේ ඇයටමැයි. ඒ විදියට නොහිතපු ජයග්‍රහණයක් ඇයට ලැබෙන්නට තරම් ඇය තරඟය තුළ ගොඩක් කැපී පෙනුණලු.

“ඒ විදිටට මාව කැපී පේන්න එක හේතුවක් තමයි මගේ හමේ පැහැය. මොකද එතැන හිටපු අනිත් හැමෝම වගේ සුදු අය. මට විතරයි එතැනින් දුඹුරු පාට හමක් තිබුණේ. මගේ හමේ පැහැය නිසා විශ්ව රූ රැජින තරඟයෙත් ඡායාරූප ශිල්පියා වුණ ජෙරාඩ් මහත්මයා මට නමක් පවා දැම්මා. මට දාපු නම තමයි බියොන්සේ කියන නම. බියොන්සේ කියන්නේ ඇමරිකාවේ කළු පැහැ වුණත් රූමත් ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක්. මං ඇය වගේ කියලා තමයි මට ඒ නම දැම්මේ. ඊටපස්සේ ඒ නම හැමෝම දැනගත්තා. සමහරු මට ඒ නමින් පවා කතා කළා. තරඟය වෙලාවෙදි අපිට සම්මුඛ පරීක්ෂණයක් තිබුණා. අපෙන් ප්‍රශ්න අහන්න ජූරියේ හත්දෙනෙක් හිටියා.  ඒකෙදී ජූරියේ සාමාජිකයෙක් මගෙන් ඇහුවා ‘ඔයාට අපේ ඡායාරූප ශිල්පියා  බියොන්සේ කියලා කතා කරනවා, ඔයාට මොකද ඒ ගැන හිතෙන්නේ’ කියලා ඊටපස්සේ මම කිව්වා ‘බියොන්සේ වගේ ලෝක ප්‍රසිද්ධ ලස්සන දක්ෂ කෙනෙක් මං වගේ කියන එක මට ලොකු දිරිගැන්වීමක්’ කියලා. අන්තිමට මට රූ රැජින කිරුළ විතරක් නෙවෙයි බියොන්සේ කියන නමත් ලැබුණා. ලෝක ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙක්ගෙන් ඒ වගේ ප්‍රතිචාරයක් ලැබුණ එකත් මට ලොකු හයියක් වුණා.”

සම්මුඛ පරීක්ෂණයේදී ඇගේ ඒ ප්‍රශ්නෙ විතරක් නෙවෙයි ඇය මේ තරඟයට සහභාගි වෙන්න හේතුවත් අහලා තිබුණා.

“ලංකාවට කීර්තියක් අත්පත් කරලා දෙන්න වගේම කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න, ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නත් මේ තරඟය ජයග්‍රහණය කිරීම මට හොඳ අවස්ථාවක් වෙයි කියලා මම හිතනවා කියන එක තමයි ඒ වෙලාවේ මගේ උත්තරය වුණේ.”

ඒ විදියට සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නට පස්සේ වරුණිලා ප්‍රශ්න පත්‍රයකටත් පිළිතුරු සපයලා තිබුණා. තරඟ වට කිහිපයක්ම එහෙම පැවැත්වෙන අතරතුරේ පුහුණුවීම් කටයුතුත් සමබරව කරගෙන ගියා කියලයි ඇය කිව්වේ.

ඒ පුහුණුවීම් අතරතුරේ ඇයත් එක්ක තරඟ වැදුණු තරඟකාරියෝ කිහිපදෙනෙක්ට උදව් අවශ්‍ය වූ විටදී උදව් කරන්නත් ඇය අමතක කරලා තිබුණෙ නැහැ. 

“අපිට තරඟයේ තිබුණු දවස් ටිකේ  පැය පහක් විතර ඇවිදින විදිය පුරුදු වෙන්න සිද්ධ වුණා. එහෙම පුහුණු වෙද්දී මාත් එක්ක පුහුණුවෙන්න ආපු වෙන රටක කෙනෙක්ගේ කකුල අඩි උස සෙරප්පු දෙකට තුවාල වුණා. ඒ වෙලාවේ අනිත් හැමෝම අවධානය යොමු කළේ පුහුණුවීම්වලට විතරයි. ඒත් මම එයාව බෙහෙත් දාන්න එක්කගෙන ගියා. ඊටපස්සේ තමයි මම පුහුණුවීම්වලට ආවේ. ඉතිං ඒ දේවලුත් හේතුවක් වෙන්න ඇති මට මේ කිරුළ ලැබෙන්න.”

ලස්සන කියන්නේ මුහුණේ ලස්සන විතරක් නෙමෙයි ඒකට හදවතේ ලස්සනත් බලපානවා කියලා ජිබ්රාල් කියන ඇමරිකානු කවියා කියපු දේ ඔප්පු කරන්න වරුණිට හැකිවුණේ ඒ විදියටයි. ඒ නිසා කාගෙත් අවධානයට ලක්වුණ ඇගේ ඒ ලස්සන තවත් වැඩි කරන්න National Costume වටයේදී ඇගේ ඇඳුමටත් හැකිවෙලා තිබුණා.

“National Costume වටයේදී ගොඩක් බැලුවේ අපි කොහොමද තමන්ගේ රටේ දේ නිරූපණය කරන්නේ කියන එක.එතැනදී මම තෝරගන්න හිතුවේ  නාග රාක්ෂ සංකල්පය. මොකද ලාංකිකයන් විදියට අපිට ඒ සංකල්පයත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. වෙන රටවල්වල අය කුරුල්ලෝ වගේ හීන ලෝ

කවල තියෙන දේවල් නිරූපණය කරද්දී මට ඕනෑ වුණේ නිර්භීතකම රළු බව නිරූපණය කරන්න. ඒකෙ ප්‍රතිඵලය වුණේ මම Best National costumer බවට පත්වීමයි.”

ලංකාවේ කෙල්ලෙක් ලංකාවේ දේ ලෝකෙට ගෙනිහිල්ලා ඒ දේවල්වලට අගයක් එක් කරද්දී ලාංකිකයො හැටියට අපිටත් ඒක ආඩම්බරයක්. ඒ තරඟ වටේදී විතරක් නෙවෙයි talent round එකේදිත් වරුණි ඉදිරිපත් කරලා තිබුණේ උඩරට නර්තනයක්. 

“මාත් එක්ක තරඟ වැදුණු හැම තරඟකාරියක්ම ගොඩක් දක්ෂයි. මාර්තු 27 වැනිදා ඉඳන් අප්‍රේල් පළවැනිදා වෙනකන්ම තිබුණ හැම තරඟ වටයකදිම ඒගොල්ලෝ ඒක ඔප්පු කළා. එතැනදී චීනය දෙවන ස්ථානයටත් නේපාලය තුන්වැනි ස්ථානයටත් තේරී පත්වුණා. ඊටපස්සේ පළවැනි ස්ථානය විදියට මගේ නම කියද්දි ඇත්තටම මට හිතාගන්න බැරි වුණා. මගේ ඇස් දෙකට කඳුළු ඉනුවා.”

ඇගේ කැපවීම විශ්වාස ඇයව නොහිතපු ජයග්‍රහණයක් කරා ගෙනයද්දී ඒ සතුට තෙගුණ දෙගුණ කරන දෙයකුත් ඒ අතර සිද්ධ වෙලා තිබුණා.

“මගේ පෙම්වතා ගයාන් රාමවික්‍රම මාව බලන්න තරඟය පැවැත්වුණු නේපාලයට ඇවිත් හිටියා. ඔහු විදේශ රටක සේවයේ නිරත වෙන නිසා අවුරුදු කිහිපයකට පස්සේ තමයි එදා ඔහුව දැක්කේ. මගේ දීරිගැන්වීම වගේම ශක්තිය වුණ ඔහු මේ ජයග්‍රහණයේ සතුට බෙදාගන්න ඒ වෙලාවේ මාත් එක්ක හිටපු එකම මට ලොකු සතුටක් වුණා. ඔහු වගේම මගේ අම්මා තාත්තාත් හැමදේකදිම හෙවනැල්ල වෙලා මගේ පිටිපස්සෙන් හිටියා. ඒ අය වගේම Salon lovely looks by Warunika Silva, Beyond nail salon, Jarathna engineering sponsor යන අයත් මගේ මේ ජයග්‍රහණයට ශක්තියක් වුණා. මම ජයග්‍රහණය කරාට පස්සේ ගොඩක් අය මට සුබපතලා තිබුණා. ඒ විදියට මට වචනයකින් හරි සහයක් දක්වපු හැම  කෙනෙක්ටම මම ස්තූතිවන්ත වෙනවා.”

අදව් කරපු හැම කෙනෙක්ටම වරුණි ඒ විදියට ස්තූතිවන්ත වෙන ගමන් ඇය කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නත් ඒ වෙනුවෙන් වැඩ කරන්නත් ඉදිරියේදී බලාපොරොත්තු වෙන බව කිව්වා. ඇය මේ වෙද්දී කටුනායක ගුවන්තොටුපළේ කළමනාකාරවරියක් විදියට සේවය කරනවලු. ඒ අතරේ තමයි අවුරුදු 26ක නිරූපණ ශිල්පිනියක් විදියට ලංකාව නියෝජනය කරලා ඇය මේ තරඟයට සහභාගි වෙලා තිබුණේ. අවසානයේ ඇයට නොහිතපු ජයග්‍රහණයකුත් ලැබුණා. ඒ ජයග්‍රහණයට  ලාංකිකයෙක් විදියට ඇයට උරුම වුණ හමේ පැහැය වගේම ඇය ඉදිරිපත් කළ අපේ සංස්කෘතිකාංගත් හේතුවුණ බව ඇය කිව්වේ ආඩම්බරයෙන්.

“ලංකාවේ ගොඩක් අය මම දැකලා තියෙනවා තමන්ගේ පැහැය  අවතක්සේරු කරනවා. ලස්සන වෙනවා කියන්නේ සුදු වෙනවා කියන එක නෙවෙයි. ඒක නිසා ලස්සන වෙන්න කියලා සුදු වෙන්න ගිහින් තමන්ගේ තියෙන ලස්සනත් නැති කරගන්න එපා. මම තරඟය තුළ කැපී පේන්න එක හේතුවක් තමයි උපතින්ම  මට මේ උරුම වුණ මගේ මේ පැහැය. මම ඒක වෙනස් කරගන්න ගියා නම් මට එතැන විශේෂත්වයක් නොලැබෙන්නත් තිබුණා. ඒක නිසා ලස්සන වෙන්න කියලා සුදු වෙන්න යන්නේ නැතුව ඒවෙලාවේ තමන්ගේ ගතිගුණ හැකියා වර්ධනය කරගන්න. තමන් ගැන විශ්වාසයෙන් වැඩ කරන්න. අද ලෝකයේ ලස්සන විදියට දකින්නේ ඒ කියපු හැමදේකම එකතුවක් මිස හමේ පාට විතරක් නෙවෙයි.” 

නෙත්මි තෂාරා