නවතම ප්‍රවෘත්ති

ආදරය සංකේතවත් කරන්න පුළුවන් ආදරණීය වීමෙන් විතරයි!

ආදරය කියන හැඟීම හරියටම විස්තර කරන්න බැහැ. කොයිතරම් නිර්වචන දුන්නත් තාම මේ හැඟීම නිර්වචනය කරන්න කාටවත් පුළුවන් වෙලා නැහැ. එම හැඟීම ඇතුළේ එක එක්කෙනාට දැනෙන දේ වෙනස්. එක එක්කෙනා හැසිරෙන විදිහ වෙනස්. හිතන විදිය වෙනස්. වෙන කෙනෙක්ට දැනෙන ආදරයක් මට විස්තර කරන්න බෑ වගේම මගේ හැඟීම තව කෙනෙකුට විස්තර කරන්න බෑ. ඒ නිසා හැමෝම නිර්වචන දෙන්නේ ආදරය ගැන තමන්ට දැනෙන විදියට.

ආදරය පිළිබඳ වැඩිපුරම කතා කරන පෙබරවාරි 14 දිනට දිනක් ඉතිරිව තිබියදී එම ආදරණීය වදන් පෙළ ගොනුකළේ මෙරට සන්නිවේදන විද්‍යාව පිළිබඳ එකම මහාචාර්යවරිය වන වාසනා මෛත්‍රී හේරත් මහත්මියයි. ඇය සේවය කරන්නේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වන අතර එහි වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධ අධ්‍යක්ෂවරියද ඇයයි.

එමෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන කුසලතා පිළිබඳ ආචාර්ය උපාධිධාරිනියකද වන ඇය, තරුණ සරසවි සිසු සිසුවියන්ගේ ආදරයෙන් බිඳුණු හිත් සුවපත් කිරීම ඇතුළු මනෝවිද්‍යා උපදේශකවරියක ලෙසද කටයුතු කරන්නීය.

මෙවර ‘ධරණී’ මුල් පිටුව සැරසෙන්නේ ඇයගේ රුවෙනි.

දෙවන ක්ලෝඩියස් රජුගේ සමයේ රෝම සොල්දාදුවන්ට ආදරයත් විවාහයත් තහනම් මාතෘකා විය. ඔවුන් රාජ්‍ය වෙනුවෙන් කැපවීම විනා ඔවුන්ට වෙනත් ජීවිතයක් නැති ලෙසින් එකල නීතිරීති පැනවිනි.

එහෙත් ආදරයත් කැස්සත් සැඟවිය නොහැකි යැයි කියන්නා සේ, ඔවුන් රහසේ ප්‍රේම කරන්නට වූහ. මෙහිදී ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වූයේ ශාන්ත වැලන්ටයින් පූජකවරයාය. ඔහු රහසිගත ක්‍රිස්තියානි උත්සවවලදී ඔවුනට විවාහ වීමට අවස්ථාව සලසා දුන් අතර, ආදරය වෙනුවෙන් පරිත්‍යාගශීලී මෙහෙවරක නිරතවිනි. අවසානයේ රජුගේ උදහසට ලක්ව පූජකවරයාට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවිය.

එහෙත් ආදරය වෙනුවෙන් ඔහු කළ දේ කොතරම්ද? සෑම වසරකම පෙබරවාරි 14දා ලොව පුරා වැසියන්, වැලන්ටයින් දිනය සමරන්නේ, ආදරය ප්‍රේමය ආදී බැඳීම් මුල්කර ගනිමිනි.

ආදරය කියන්නෙම හැඟීමක්…” වාසනා මෛත්‍රී මහාචාර්යවරිය අප කතාබහට අවතීර්ණ වූයේ එලෙසිනි.

මේ හැඟීමත් එක්ක තවත් බොහෝ හැඟීම් සම්බන්ධයි. හැඟීම් කියන්නේ අපිට අත්‍යවශ්‍ය දෙයක්, ලස්සන දෙයක් වගේම එක් පැත්තකින් බැලුවොත් හරි භයානක දෙයක්. ඒ නිසා හැමකෙනෙක්ම හැඟීම් ගැන අවබෝධයකින් ඉන්න ඕන. ඒක තරුණ අයට විතරක් අදාළ දෙයක් නෙමෙයි. ආදරය කියන හැඟීම ගැන ගොඩක් අයට තියෙන්නේ වැරදි අවබෝධයක්. මේ අවබෝධය එන්නේ අහන දකින දේවල් නිසා. වැරදි අවබෝධය වගේම වැරදි ආදර්ශයන් නිසා ගොඩක් අයගේ ජීවිත විනාශවෙන අවස්ථා තියෙනවා. ඒ හින්දා හැමකෙනෙක්ම ආදරය කියන හැඟීම ගැන වගේම බිය, සතුට, දුක, ඊර්ෂ්‍යාව, තරහව වගේ අනෙකුත් හැඟීම් ගැනත් අවබෝධයක් ලබාගන්න ඕන.”

එම හැඟීම් සමඟින් තවත් කාරණා කිහිපයක් බැඳී තිබේ. සතුට, සැනසීම, ආකර්ෂණය, රැකබලාගැනීම්, විඳීම් වැනි සාධනීය දේත් දුක, කේන්තිය, ඊර්ෂ්‍යාව, බිය වැනි නිශේධනීය දේත් ඒ තුළ තිබේ. ආදරය කියන ‘හැඟීම’ ප්‍රධාන දේ නම්, ඒ සමඟින් බැඳුනු අනෙකුත් හැඟීම් අඩුවැඩි වීමෙන් ප්‍රධාන හැඟීම ලස්සන වීමක් සිදුවේ.

උදාහරණයක් විදිහට සතුට, කැපවීම වැඩිනම් ආදරය ලස්සන වැඩියි. තරහා, ඊර්ෂ්‍යාව, සැකය වැඩිනම් එතැන ප්‍රශ්න, රණ්ඩු වැඩියි. එතැනදී තමන්ගේ ආදරය ලස්සන කරගන්න තමන් ඉගෙනගන්න ඕන. ඒක අනිත් කෙනාටත් කියලා දෙන්න ඕන. ඕනම කෙනෙක් ඉවසීම, දරාගැනීම, පිළිගැනීම වගේ දේවල් ජීවිතයට එකතු කරගන්න අවශ්‍ය වෙනවා ආදරය වෙනුවෙන්. ඒ වගේම තමන්ගේ සතුට, යහපත වෙනුවෙන්

ඒ වගේම එක හැඟීමක් ඇතුළේ අනිත් හැඟීම් හසුරුවාගන්න, තෝරාගන්න හැමකෙනෙක්ම ඉගෙනගන්න ඕන. එහෙම නැති වුණාම හැමදේම පටලවා ගන්නවා අපි. ජීවිතයම කරදරවල දා ගන්නවා. ඒ නිසා ආදරය කියන හැඟීම ඇතුළේ වැඩියෙන් තියෙන්න ඕන මොනවද කියලා තීරණය කරන්න ඕන. ඒ අනුවයි ඒ ආදරය ලබන කෙනයි දෙන කෙනයි අතර තියන සමස්ථය තීරණය වෙන්නේ. ආදරයේ සංකේතයක් හැටියට රෝස මල ගත්තත් රෝස මලකින් ආදරය පෙන්වන්න බැහැ. ආදරයේ සංකේත කියලා අපි හදාගත්තට ආදරය සංකේතවත් කරන්න පුළුවන් ආදරණීය වීමෙන්ම විතරයි. ආදරයේ සංකේතය වෙන්න තමන් ආදරය කරන කෙනාට. එයයි වැදගත් වෙන්නේ.

සිහින දෙව්දුවේ නුඹට තුන්ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ

තමන් ආදරය කරන කෙනාගෙන් ඒක දකින්න පුළුවන්නම් ඒක තමයි ආදරය. ආදරයේ සංකේතය පොදු දෙයක් කරගන්න එපා. තමන් ආදරය කරන කෙනාට ඒ ආදරයේ සංකේතය වගේම ආදරයේ අර්ථය වෙන්න.”

එසේ නොවුණු විට බැඳීම් බිඳීයන අතර සමාජය දෙස බලද්දීද අපට පෙනෙන්නේ වැඩිපුරම ඇත්තේ බි‍ඳෙන බැඳීම් බවයි. ඇතැම්විටක බැඳීම ආරක්ෂා කරගැනීම උදෙසා ගනු ලබන වැරදි ක්‍රමවේද නිසාම බැඳීම් බිඳීයාම සිදුවිය හැකිය. ආදරය කරන අයෙකු බලාපොරොත්තු වන්නේ ආදරය, සැනසීම, ජීවිතයට සවියක් මිස විඳවීම හඬාවැටීම නොවේ. කොතරම් ආදරය වුවත් රිදවීම්, වදදීම් වේ නම් එම ආදරයෙන් ලැබෙන දෙයක්ද නොවේ.

උදේ සිට රෑ වෙනතුරු අවලාද නගනවානම්, ගරහනවා නම්, එය අන්තිමට නවතින්නේ හිසරදයක් වීය. එවිට එතැනින් ඉවත්වයාමට ආදරවන්තයාට හෝ ආදරවන්තියට සිතීම අරුමයක් නොවේ. එවිට ඒ හැරයන කෙනා දෙස ද්වේෂසහගත වීමද තේරුමක් නැති දෙයකි.

‘ආදරය’ පුහුණු විය යුතු දෙයක් වන්නේ එහි විවිධ පැති තිබෙන බැවිනි. දෙමාපියන්ට, නෑ හිතවතුන්ට, යහළුවන්ට අපි දක්වන ආදරය එකකි.

ආදරය පුහුණුවෙන්න දරුවෙකුට ආදරය හොඳ අත්දැකීමක් වෙන්න ඕන. පුංචිම කාලෙ දරුවාට ආදරය ගැන අවබෝධයක් ලබාදෙන්න ඕන. ගොඩක් අය ආදරය නිසා දුක් විඳින්නේ නොගැළපෙන අය එක්ක සම්බන්ධයක් ගොඩනගාගත්තමයි. සමහර අය ඒ සම්බන්ධතාවලදී කුහකයි. තමන් ගැන පමණයි හිතන්නේ. ඒකෙන් දුක් විඳින්නේ ඒ කෙනාට ආදරේ කරන අනිත් කෙනා. කුහකකම්, දුෂ්ටකම් ඒ අය අරන් එන්නේ ගොඩක් වෙලාවට පවුල තුළ ලැබූ කටුක අත්දැකීම් එක්ක වෙන්න පුළුවන්. එහෙම අය එක්ක ජීවත්වෙන්න පහසු නෑ. ඒ අය එක්ක ඉන්න අයත් ජීවිතේ විඳවනවා. ඒ නිසා ආදරය පවුල් පසුබිම ඇතුළෙම අත්දකින්න දරුවන්ට සලස්වන්න ඕන. ඒ ගැන කියලා දෙන්න ඕන. වැරදි නිවැරදි කරවන්න ඕන. මේවා දෙමාපියන් කළ යුතු දේවල්. හැබැයි එහෙම කරන්න නම් දෙමාපියනුත් තමන්ගේ ආදර්ශය දෙන්න ඕන.

ආදරය හේතුවෙන් ඇතිවන සතුට වාගේම දුක වේදනාව දරාගැනීමේ ශක්තිමත් හිතක් ඕනෑම කෙනෙකුට වැදගත්ය. එය පුරුදු පුහුණු කළ යුතු ජීවන කුසලතාවයක් යැයි කීම වැරදි නැත. විශේෂයෙන් ජීවිතයේ දිනුම වාගේම පැරදුමට මුහුණ දෙන්නට හැකිවන්නේ එමගින් තමන්ට යමක් අවබෝධ කරගැනීමට ඇති පරාසය අනුවය. එය ළමාවිය හා බැඳී පවතී.

දරුවෙකුට ජීවිතයේ දිනුම පැරදුම දෙකම අත්දකින්න දෙන්න ඕන. එතකොට තමයි අත්දැකීම් එක්ක ඔවුන් පන්නරය ලබන්නේ. එතැනදී අත්දැකීම් ලබන්න පරාද විය යුතුයි කියලාම දෙයක් නැහැ. දෙමව්පියන්ට පුළුවන් ඔවුන්ට ඒ දේවල් කියලා දෙන්න. මේ දේ මෙහෙම වුණත් තවත් අවස්ථා ජීවිතයට තියෙනවා කියලා. ඒ අවස්ථාව මේ අවස්ථාව වඩා සාර්ථක පියවරක් වෙන්නත් ඉඩ තියෙන බව පහදා දෙන්න පුළුවන්. ඒ වගේම දරුවෙකුට නිතරම හොඳ නරක ගැන කියලා දෙන්න ඕන. හැඟීම් ගැන දැනෙන්න දෙන්න ඕන. යමක් මැදහත්ව දරාගන්න පුළුවන් වෙන්නේ එතකොට.

ඇය කියන්නේ ආදරයෙන් පරාජය වෙන්නට වුවහොත්, ඊට වර්තමානයේ බොහෝදෙනා ඊට ප්‍රතිචාර දක්වන්නේ ප්‍රචණ්ඩකාරීව බවයි. එමෙන්ම ඊට විසඳුම් සොයන්නේ අනෙකාට ජීවත්වීමේ වරම අහිමි කරමිනි. නොයෙකුත් පලිගැනීමේ ක්‍රමවලටද ඔවුන් පෙළැඹේ. එහෙත් විය යුත්තේ එය නොවේ.

මෙය වෙනස් කරන්න නම් තව කෙනෙකුට ආදරය කරන්න කලින් තමන් තමන්ට ආදරය කරන්න ඉගෙනගන්න ඕන. තමන්ගේ ජීවිතය තමන්ට වටිනබව අවබෝධ වෙද්දි තව කෙනෙක් නිසා අනුවණ දේවල් කරන්න පෙළැඹෙන්නේ නැහැ. ඒ තමන් ගැන අවධානය තමන්ට තියෙන නිසයි.

එහෙම අයෙකුගෙන් තවත් අයෙකුගේ ජීවිතය යහපත්ව පවත්වාගෙන යන්නට උදව්වක් තල්ලුවක් ලැබෙනවා විනා නරකක් අවැඩක් සිදුවන්නට ඉඩක් නැත.

දීපා වසන්ති එදිරිසිංහ