විශේෂාංග

අමුතු රක්ෂණේ පියයුරු දෙකට විතරක් ඇමෙරිකානු ඩොලර් මිලියනයක්

රක්ෂණය කියලා කියන්නේ අපි කොයිකාටත් අමුතු වචනයක් නෙවෙයිනෙ. මොකද ජීවිත රක්ෂණය, දේපළ රක්ෂණය කියන දේවල් අපිට එදිනෙදා ඇහෙන හුරුපුරුදු දේවල් නිසා. හැබැයි ඒ අතරේ ශාරීරාංග රක්ෂණාවරණය කියන්නේ නම් අපිට අහන්න ලැබෙන තරමක අමුතු රක්ෂණාවරණයක්. ඒ වුණත් මේ වෙනකොට ලෝකයේ වඩාත්ම ජනප්‍රිය පුද්ගලයෝ බොහොමයක් තමන්ගේ ශරීරාංග රක්ෂණයට නැඹුරුවෙලා ඉන්නවා කියලයි ආරංචිය. ඒ හැම කෙනෙක්ම වගේ කියන්නේ එයාලගේ වෘත්තීන්වල ඉදිරි පැවැත්ම තීරණය වෙන්නෙ මේ ශරීර අවයවවලින් නිසා මේ දේවල් රක්ෂණය කරන්න තීරණය කළා කියලයි.

ඔන්න ඉතින් ඒ විදියට තමන්ගේ ශරීරයේ අමුතුම අවයව ටිකක් රක්ෂණය කරගත්තු ජනප්‍රිය පුද්ගලයෝ කීපදෙනෙක් ගැනයි මේ කතා කරන්න හදන්නේ.

‘හෝලි මැඩිසන්’ කියලා කියන්නේ ඇමෙරිකාවේ ඉන්න ඉතාමත් ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. ඇය රක්ෂණය කරලා තියෙන්නේ ඇයගේ පියයුරු. ඒ අනුව එක් පියයුරකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක වටිනාකමක් ලැබෙන විදියට ඇය තම පියයුරු යුගළය රක්ෂණය කරගෙන ඉන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියනයකටලු. වරක් මේ ගැන ඇයගෙන් ප්‍රශ්න කළ මාධ්‍යවේදියෙකුට ඇය කියා තිබුණේ ඇගේ වෘත්තියේ වටිනාකම රඳා පවතින්නේ පියයුරුවල නිසා මේ විදියට පියයුරු රක්ෂණය කළා කියලයි.

ඇමෙරිකානු ජාතික නර්තන ශිල්පිනියක් වෙන ජෙනිෆර් ලෝපෙස්ගේ කතාවත් මීටම සමාන එකක්. ඇය පිටුපස පෙදෙස චලනය කරමින් ඉදිරිපත් කරන අලංකාර නර්තනයක් දැකලා නැති කෙනෙක් ඉන්න විදියක් නෑ. එනිසාම ඇය තමන්ගේ වටිනා පිටුපස පෙදෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 300කට රක්ෂණය කරලා කියලයි ආරංචිය.

ඔන්න ඊළඟට කියන්න යන රක්ෂණාවරණය ගැන නම් ඔයාලා විශ්වාස කරයිද දන්නෙත් නෑ. හැබැයි ඉතින් විශ්වාස කළත් නැතත් ඇමෙරිකානු රොක් ගායකයෙක් වෙන ඩේවිඩ් නම් රක්ෂණය කරලා තියෙන්නෙ වෙනස්ම එකක්. තමන් නිසා රසිකාවියන් ගැබ් ගැනීමේදී පීතෘත්වය පිළිබඳව ඇතවෙන ගැටලු වළක්වන්න ඔහු සිය ශුක්‍රාණු රක්ෂණය කළා කියලයි කියන්නේ. ​මේ ලිපිය කියවද්දී ඩේවිඩ්ගේ ශුක්‍රාණු විතරක් මේ තරම් වටින්නේ කොහොමද කියලත් සමහරු කල්පනා කරන්න ඉඩ තියෙනවා.

ඒ කොහොම වුණත් ඊළඟට අපි කතා කරන්නේ ලෝකයේ ප්‍රසිද්ධම පාපන්දු ක්‍රීඩකයෙක් වුණ ඩේවිඩ් බෙකම්ගේ රක්ෂණාවරණයක් ගැන. ඇත්තටම පාපන්දු ක්‍රීඩාව කියන්නේ ඩේවිඩ්ට ආදායම් ලැබෙන ඔහුගේ ජීවිතයේම එක කොටසක් කිව්වොත් හරි. ඒක නිසා ඩේවිඩ් නම් රක්ෂණය කරලා තියෙන්නේ එයාගේ පාද යුගළලු. වාර්තාවෙන විදියට ඩේවිඩ් එයාගේ පාද රක්ෂණය කරලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක වටිනාකමකට. ඩේවිඩ් බෙකම් කිව්වම ඉතින් ලෝකයක් දන්න හඳුනන පාපන්දු ක්‍රීඩකයෙක්නේ. එනිසාම ඔහුගේ පාද රක්ෂණාවරණය නම් ප්‍රායෝගිකයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.

ඩේවිඩ් විතරක් නෙවෙයි ජනප්‍රියත්වයේ ඉහළින්ම ඉන්න පාපන්දු ක්‍රීඩකයෙක් වෙන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝත් ඔහුගේ පාද රක්ෂණය කරලලු. ආරංචියේ හැටියට රොනාල්ඩෝ නම් එයාගේ පාද රක්ෂණය කරලා තියෙන්නේ ඇමෙරිකන් ඩොලර් 144කටලු.

මේ වගේ රක්ෂණ අපිට අරුම පුදුම දේවල් වුණාට එයාලා නම් කියන්නේ තමන්ව ජීවත් කරවන දේට මුල්තැනක් දෙන්න පුරුදු වෙන්න ඕන කියලා.

ලිහිණි මධුෂිකා