News

WTCයෙන් ඇමැති ප්‍රසන්නත් ඉවතට

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන සංචාරක ඇමැති කාර්යාලය එම ස්ථානයෙන් ඉවත් කිරීමට ඇමැති ප්‍රසන්න රණතුංග තීරණය කර ඇත.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 25 වැනි මහලේ දැනට පවත්වාගෙන යන සංචාරක ඇමැති කාර්යාලය වෙනුවෙන් විශාල මුදලක් වැය වන නිසා මෙම තීරණය ගත් බව ඇමැතිවරයා ප්‍රකාශ කර සිටී.

කොළඹ රක්ෂණ මන්දිරයේ මෙතෙක් කලක් පවත්වාගෙන ගිය සංචාරක අමාත්‍යංශය පසුගිය සතියේ කොළඹ යෝර්ක් වීදියේ පිහිටි ඇසෙට් ආකේඩ් ගොඩනැගිල්ලට ගෙන ගොස් ඇති නිසා තම කාර්යාලයද එහි ස්ථාපිත කරන බව ඇමැතිවරයා පැවැසුවේය.

ඒ අනුව ලබන වසර මුල් කාර්තුවේ සිට ඇසෙට් ආකේඩ් ගොඩනැගිල්ලේ සිට තම කාර්යාල කටයුතු කරන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කරයි.