විශේෂාංග

යොහානි කියන්නෙ කිසිම අභියෝගයකින් නතර කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි

යොහානි ද සිල්වා කියන්නේ එක රැයකින් බිහිවෙච්ච ගායිකාවක් නෙවෙයි. නමුත් ඇය එක රැයකින් ජාත්‍යන්තරය ජයගත් ගායිකාවක්. කොහොම වුණත් මේ ගමන යොහානි තනිවම ආවෙ නෑ. මේ සාර්ථකත්වය පිටිපස්සේ ඇගේ හෙවණැල්ල වගේ ළඟ ඉඳපු සහ ඇයට ශක්තියක් වුණු කෙනෙකුත් හිටියා.

යොහානිට ආදරේ කළාට මොකද ගොඩක් අයට මේ පුද්ගලයාව නම් එච්චර රුස්සන්නේ නෑ. සම්මුඛ සාකච්ඡාවක් හෝ වෙනයම් අවස්ථාවක් වෙනුවෙන් යොහානිව සම්බන්ධ කරගන්න අවශ්‍ය වුණාම ඒකට ‘හා’ කියනවද ‘බෑ’ කියනවද කියන එක තීරණය කරන්නේ මේ පුද්ගලයා වීම සහ බොහෝවෙලාවට ඔහුගෙන් ලැබෙන පිළිතුර ‘බෑ’ වීම තමයි ඒකට හේතුව.

මේ කාරණා නිසාම යොහානිගේ ගමනට ඔහුගෙන් ලැබුණු දායකත්වය ගැන කතා කරන්න අපි දිලංජන්ට කතා කළා. දිලංජන් සෙනෙවිරත්න, යොහානිගේ කළමනාකරු විතරක් නෙවෙයි Pettah Effect සංගීත කණ්ඩායමේ නිර්මාතෘවරයා.

දිලංජන්ට යොහානිව මුණුගැහුණේ කොයි කාලෙද?

ඒ 2015 අවුරුද්දෙදි. යොහානියි මමයි වැඩ කරපු ඔෆිස් දෙකම තිබුණේ එක බිල්ඩින් එකක. එතන අපි දෙන්නවම අඳුනන එක යාළුවෙක් හිටියා ඉනුර කියලා. ඔහු හරහා තමයි මම යොහානිගෙ යාළුවෙක් වුණේ.

යොහානි, ‘Pettah Effect’ එකත් එක්ක එකතු වුණෙත් ඒ කාලෙමද?

යොහානි ඉස්සර ඉඳලම සිංදු කියනවා. ඒ නිසා යොහානිගෙ සිංදුවකට අපි එකතු වෙලා වීඩියෝ එකක් කරමු කියලා මම යෝජනා කළා. ඒ අනුව තමයි යොහානි එයාගේ පළවෙනි වීඩියෝ එක අපිත් එක්ක කළේ. ඊටපස්සේ යොහානි උසස් අධ්‍යාපන කටයුතුවලට රට ගියා. ඒ ගියත් සිංදු කියන එක නතර කළේ නෑ. එහෙ ඉඳගෙන එයාගේ සිංදුවල වීඩියෝ එකයි, ඕඩියෝ එකයි වෙන වෙනම රෙකෝඩ් කරලා අපිට එව්වා. පස්සේ අපි ඒවා සංස්කරණය කරලා යූටියුබ් එකට දැම්මා.

ඒ කියන්නේ යොහානිගේ සාර්ථකත්වය පිටිපස්සේ ඉන්නේ දිලංජන් කියන එකද?

නෑ. යොහානි කියන්නේ කිසිම අභියෝගයකින් නතර කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ වගේම හරි ඉක්මනට ඕනම දේකට හැඩගැහෙන්න පුළුවන් හැකියාවකුත් එයාට තියෙනවා. ඉතින් යොහානිගේ සාර්ථකත්වයේ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕනේ එයාටම තමයි. කළමනාකරු විදිහට මම කළේ යොහානිගේ ඒ ගමනට අවශ්‍ය ශක්තිය ලබාදෙන එක විතරයි.

කළමනාකරු විදිහට දිලංජන්ට යොහානි සම්බන්ධව තියෙන වගකීම් මොනවද?

‘සෙලිබ්‍රිටි මැනේජර්’ කෙනෙක් වුණාම එයාගෙ වගකීම අදාළ කලාකරුවාගේ කාලය කළමනාකරණය කරන එක කියලා තමයි ගොඩක් අය හිතන්නේ. නමුත් මම කරන්නෙ ඒක නෙවෙයි. යොහානි මේ ක්ෂේත්‍රයේ තව කාලයක් රැඳී ඉන්න නම් ඇය කළ යුතු දේවල් මොනවද සහ නොකළ යුතු දේවල් මොනවද කියන එක ගැනත් මම හිතන්න ඕන. එතැනදී තාවකාලික ඉලක්ක පස්සේ දුවනවට වඩා දීර්ඝකාලීන අරමුණක් වෙනුවෙන් ඇයව මෙහෙයවන එක තමයි මගේ වගකීම.

යොහානි ඉන්දියාවට ගියෙත් ඔබත් එක්ක. ඒ කියන්නෙ යොහානිගෙ ගෙදර අයත් ඔබව සෑහෙන්න විශ්වාස කරනවා?

මම යොහානිව අඳුරන්නේ අදක ඊයෙක ඉඳලා නෙවෙයිනේ. අනික යොහානිගේ අම්මයි, තාත්තයි සමාජය දිහා බොහොම විවෘතව බලන අය. ඉතින් යොහානිගේ ආරක්ෂාව ගැන ඔවුන්ට ප්‍රශ්නයක් තිබුණා කියලා මම හිතන්නේ නැහැ.

ඔබ යොහානිව ජනප්‍රිය වෙන්න කලින් ඉඳලම අඳුරනවනේ. ඉතින් මේ අහඹු ජනප්‍රියත්වයත් එක්ක ඇය වෙනස් වුණාද? නැත්නම් තාමත් ඉන්නේ පරණ යොහානිමද?

යොහානි කියන්නේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටවල්වල කාලයක් ජීවත්වෙච්ච කෙනෙක්. ඒ නිසා ඇයට මේ දේවල් අලුත් දේවල් නෙවෙයි. තවමත් ටී ෂර්ට් කෑල්ලක් දාගෙන තමයි ස්ටූඩියෝ එකට එන්නේ. ජනප්‍රිය වුණා කියලා නිහතමානීකමයි, සරලකමයි ටිකක්වත් අඩුවෙලා නැහැ. තාමත් ඉන්නේ අපි දන්න කියන පරණ යොහානිම තමයි.

ඉන්දියාවෙදි යොහානිට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉන්දියාවේ අය ‘මැණිකේ මගේ හිතේ’ ගීතය විවිධ භාෂාවලින් රීමේක් කරලා තියෙනවා. විවිධ භාෂා රාශියකට පරිවර්ථනය වුණු සිංදුවක් විදිහට මේ සිංදුව වාර්තාවක් පවා තියලා තියෙනවා. ඉන්දියාවට ගියාට පස්සේ තමයි අපිත් ඒක දැනගත්තේ. ඉන්දියාවේ අය ‘මැණිකේ’ ගීතයට වගේම යොහානිටත් ඒ තරමටම කැමතියි.

ඔය කියන හොඳ ප්‍රතිචාර වගේම යොහානිට දෙමළ ඩයස්පෝරාවේ නරක ප්‍රතිචාරත් ලැබුණලු නේද?

ඔව්, යොහානිගේ පියා මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා, අපරාධකාරයෙක් කියලා දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ පුද්ගලයන් විවිධ ට්වීට් සටහන් පවා තියලා තිබුණා. දකුණු ඉන්දියාවෙන් තමයි ඔය විරෝධය ආවේ. හැබැයි ඒක යොහානිටවත්, අපේ කණ්ඩායමටවත් ගැටළුවක් වුණේ නෑ. යොහානිගෙ පියා ඒ කියන්නේ මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මේ රට වෙනුවෙන් ලොකු සේවයක් කරපු රණවිරුවෙක් කියන එක දෙමළ ඩයස්පෝරාව ඇරුණම අනිත් හැමෝම දන්නවා.

ඉන්දියාවේ ප්‍රවීණ කලාකරුවන් රැසක් එක්ක වැඩ කරන්න යොහානි ඇතුළු ඔබේ කණ්ඩායමට අවස්ථාව ලැබුණා. ඒ අත්දැකීම මොන වගේද?

ඔව්, සල්මාන් ඛාන් ඒ වගේම එහේ ඉන්න සුපිරි රංගන ශිල්පීන්, සංගීත අධ්‍යක්ෂකවරුන් එක්ක වැඩ කරන්න, කාලය ගත කරන්න අපිට අවස්ථාව ලැබුණා. සල්මාන් මෙහෙයවන ‘Big Boss’ ප්‍රෝගෑම් එකේදි ඔහුට තෑග්ගක් විදිහට හින්දි ගීතයක් ගායනා කරන්න යොහානිට උවමනා වුණා. ඉතින් ඇය පාන්දර වෙනකල් සෝනු නිගම් එක්ක එකතු වෙලා ඒ ගීතය පුරුදු වුණා. ඔහු වෙනුවෙන් යොහානි ගීතයක් ගයනවා කියලා දැනගත්තතම සල්මාන් ගොඩක් සතුටු වුණා.

ඒ වගේම සුපිරි නළු රන්වීර් සිංව මුණගැහෙන්නත් අපිට පුළුවන් වුණා. ඔහුගේ බිරිඳ දීපිකා පදුකෝන් ‘මැණිකේ’ ගීතයට ගොඩක් කැමතියි කියලා ඔහු අපිත් එක්ක කිව්වා. ඒ වගේම සෝනු නිගම්ව යොහානිගේ ඉන්දියානු නියෝජිතයා විදිහට තෝරගන්නත් ඉන්දියාවේ ප්‍රකට සන්නාමයක් වන ‘T Series’ එක්ක වැඩකටයුතු කිහිපයකට අතගහන්නත් අපිට පුළුවන් වුණා. ඒ හැම අත්දැකීමක්ම හරිම සුවිශේෂීයි.

අවසාන වශයෙන් යොහානිගේ ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරමු?

යොහානිගේ අලුත්ම ඇල්බම් එක තමයි ‘කෙල්ල’. ඒකේ එක් ගීතයක් මේ වෙනකොටත් අවුට් වෙලා ඉවරයි. මේ මුළු ඇල්බම් එකේම තනු රචනා කළෙත් යොහානි. මේ ඇල්බමයටත් ඉන්දියාවෙදි ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඉදිරියේදී ජාත්‍යන්තර කලාකරුවන් එක්ක වැඩ ගොඩක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉස්සරහට යොහානි ලොකු වැඩක් කරයි කියන එක මට කියන්න පුළුවන්.

සෙව්වන්දි හෙට්ටිආරච්චි