නවතම ප්‍රවෘත්ති

සින්දු කියන වෛද්‍යවරියක් වෙන්නයි මට ඕන

කොච්චර තරුණියෝ හිටියත් බාහිර රූපයයි, කටහඬයි, හැකියාවයි එකට පිහිටපු අය මුණගැහෙන්නේ හරි කලාතුරකින්. සමහරු පෙනුමෙන් හැඩ වුණාට කටහඩේ කිසි ආකර්ෂණයක් නෑ. තවත් සමහරුන්ට හැඩයි, හඬයි තිබුණට හැකියාවක් නෑ. ඔය අතරේ තවත් අයට ඔය තුනම තිබුණත් වාසනාව කියන එක නෑ. හැබැයි ‘යොමාෂා චාවින්දි සිල්වා’ කියන්නේ මේ කියපු හැමදේකින්ම සම්පූර්ණ තරුණියක්. ඇගේ රූපය ගත්තත්, ඇගේ හඬ ගත්තත්, ඇගේ හැකියාව ගත්තත්, වාසනාව ගත්තත් ඒ හැම අතින්ම ඇය පොහොසත්. ඒ නිසාම ‘ධරණී’ කවරය සැරසෙන්නෙත් මේ හැඩකාරියගේ රුවින්. ඒකත් ඇයට ලැබුණු එක වාසනාවක් කිව්වොත් හරි.

මට තාම වයස අවුරුදු විස්සයි. මෙදා සැරේ උසස් පෙළ විභාගය ලියලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නේ. වෛද්‍යවරියක් වෙන්න හිතාගෙන ජීව විද්‍යා අංශයෙන් තමයි විභාගය කළේ. අතරේ පසුගිය වසරේ රූපවාහිනී නාළිකාවක අවුරුදු කුමරිය තරඟයකට ඉදිරිපත් වුණා. එතැන ඉඳපු තරුණියන් දහදාහක් අතරින් අවසාන දොළොස්දෙනා අතරට එන්න මට හැකියාව ලැබුණා. ඇත්තටම අවස්ථාව නිසා මට ගොඩාක් දේවල් ලැබුණා.

අහම්බෙන් වුණත් කෙනෙක්ට දෙයක් ලැබෙන්නේ වාසනාවට කියනවනේ. යොමාෂාත් ඒ අතින් හරි වාසනාවන්ත තරුණියක්. මොකද ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වෙන ඇගේ සංගීතමය ගමනට පාර කැපෙන්නෙත් හරිම අහම්බෙන්.

මම ගායිකාවක් වෙන්නනම් හිතලා තිබුණේම නෑ. ඒත් මගේ මල්ලි පහන් තරුෂ, අවුරුදු හතක් පුරාවට ප්‍රසංග වේදිකාවේ ඉන්න කෙනෙක්. ඉතින් එයාගෙ ප්‍රසංග තියෙනකොට මමත් බලන්න යනවා. ඔය අතරේ හැමෝම අහන්න ගත්තා මල්ලිට ඔච්චර හොඳට සිංදු කියන්න පුළුවන් නම් අක්කට බැරි ඇයි? කියලා. එහෙම කියලා මල්ලිට ආරාධනා කරපු ප්‍රසංගවලටම මටත් ආරාධනා ලැබෙන්න පටන්ගත්තා. ඒ විදිහටයි මං ප්‍රසංග වේදිකාවට ගොඩවුණේ. දැන්නම් මට ගොඩාක් ආරාධනා ලැබෙනවා.

මේ වෙනකොට ලංකාවේ කොහේ කොතැනක සංගීත ප්‍රසංගයක් තිබුණත් මේ හැඩකාර කෙල්ල ඒ ප්‍රසංගයේ දකින්න පුළුවන්. මොකද අහම්බෙන් ලැබුණු ඒ අවස්ථාව ඇගේ හැකියාවෙන්ම ඇය ඔපමට්ටම් කරගෙනයි තියෙන්නේ.

ඇත්තටම හැදෑරීමක් නැතුව ගමනක් යන්න අමාරුයි. මං ගායිකාවක් වෙන්න හීන නොදැක්කත් සාමාන්‍ය පෙළට සංගීතය විෂයක් විදියට කරලා තිබුණා. ඒක මගේ ගමනට ලොකු පිටිවහලක් වුණා. දැන් නම් මං විශාරද විභාගය කරගෙන යනවා.

ප්‍රසංග වේදිකාව ගැන කතා කළොත් අපිට එක්වරම මතක් වෙන්නේ සශිකා නිසංසලාව. මොකද ඇය තමයි ප්‍රසංග වේදිකාවේ හදවතේ ගායිකාව. ගීතවලින් විතරක් නෙවෙයි ඇය අඳින පළඳින හැසිරෙන විදිහෙන් පවා ඒක එහෙමයි. යොමාෂාත් අපි දකින්නේ ඒ විදිහට. ඒ නිසා සශිකාව අනුකරණය කරනවද කියලත් නිකමට අපි යොමාෂාගෙන් ඇහුවා.

මං කවුරුත්ම අනුකරණය කරන්නේ නෑ. එහෙම කළොත් මට මාව නැතිවෙනවා. ඒත් මං ආසයි සශිකා නිසංසලා මිස්ට. එයා අද ඉන්න තැනට හෙට මට එන්න පුළුවන් නම් මං දිනුම් කියලා හිතනවා.

තැනකට එන්න මොනතරම් පාරවල් තිබුණත් තමන් හදාගත්ත පාරේ එන එකයි වටින්නේ. අන්න එතකොටයි තැනකට ඇවිත් දවසක ආපහු හැරිලා බලද්දි සතුටු වෙන්න පුළුවන් වෙන්නේ. හැබැයි තමන් හදාගත්ත පාරක ආවත් යොමාෂාගේ ගමන මල්පාරකින් නම් වැටිලා තිබුණේ නෑ.

අලුත් කෙනෙක්ට සංගීතය වගේ ක්ෂේත්‍රයකින් තැනකට එන්න ලේසි නෑ. ගෑනු ළමයෙකුට නම් ගොඩාක්ම අමාරුයි. මොකද කැපිලි කෙටිලි බාධක සෑහෙන්න එනවා. ඒ වගේම අයුතු යෝජනා එන්න තියෙන අවස්ථා වැඩියි. ඒ නිසා පරිස්සමින් තමයි මේ ගමන යන්න ඕනේ.

ගායකයෙක් ගායිකාවක් විදිහට සංගීත පොළොවේ පැළවෙන්න නම් තමන්ගේම කියලා ගීතයක් තියෙන්න ඕන කියනවනේ. ඒ නිසාම යොමාෂාත් පහුගිය කාලේ තමන්ගේම ගීත දෙකක් එළිදැක්වුවා.

මගේ මුල්ම ගීතය දේදුන්නක් පායලා කියන එක. දෙවැනි එක ඇස් බැල්මෙන් කියන ගීතය. ඒ ගීත දෙකටම ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒත් මං හිතනවා මගේ ඊළඟ ගීතය රටේ ලොකු වෙනසක් කරයි කියලා.

ගායන ශිල්පිනියක් වුණත් යොමාෂාගේ ඇඟ ඇතුළේ අපූරු නිළියකුත් ඉන්නවා කියන කතාව එළියට ආවේ මේ කතාබහ අතරෙමයි. ඒක නිසාම ඇගෙන් ඒ කතාව ගැන අහන්නත් අපි අමතක කළේ නෑ.

රංගනයටත් ආරාධනා එනවා. ඒත් තියෙන කාර්යබහුල බව එක්ක ගොඩාක් අවස්ථා මගඇරෙනවා. ඒත් පසුගිය සතියේ චමිල් සර් අධ්‍යක්ෂණය කරපු සුපිපුණු කුසුමක් කියන ඒකාංගික ටෙලිනාට්‍යයේ මං ප්‍රධාන චරිතය කළා. ඒකත් ළඟදීම රූපවාහිනියේ විකාශනය වෙයි.

දක්ෂතාවන් ගොඩක් තියෙන මෙච්චර හැඩකාර තරුණියක් අපේ ඉස්සරහා තියාගෙන ඇයගෙන් ආදරේ ගැන අහලා බැලුවේ නැත්නම් ඒක ලොකු අඩුවක්.

ආදරේ කියන්නේ සුන්දර දෙයක්. හැබැයි ඒක සුන්දර වෙන්නේ හරි කෙනා මුණගැහුනොත් විතරයි. වැරදි කෙනෙක් මුණගැහුනොත් මුළු ජීවිත කාලෙම විඳවන්න වෙයි. අපි කෙනෙක් ජීවිතේට ළංකරගන්න ඕන දවසකට දෙකකට නෙවෙයි. මැරෙනකල්ම අපි එකටයි ඉන්න ඕන. අන්න ඒ නිසා ආදරේට ඉක්මන් වෙලා බෑ.

ඒක වයසට වඩා ටිකක් පැහුණු උත්තරයක් හින්දමද මන්දා යොමාෂාටත් හිනා. ඒ හිනාව අස්සෙන්ම අපි ඇගෙන් අනාගත බලාපොරොත්තු ගැන අහන්නත් අමතක කළේ නෑ.

එක හීනයක් තියාගෙන ඒ හීනය පස්සේ පන්නන්නම ඕන කියලා එකක් නෑ. තමන්ට හිතෙනවා නම් තවත් හීනවලට යන්න තමන්ට පුළුවන් කියලා ඒවටත් උත්සාහ කරලා බැලුවට කමක් නෑ. දැනට මගේ ලොකුම හීනය වෛද්‍යවරියක් වෙන එක. උපරිම උත්සාහ කරනවා ඒ හීනය සැබෑ කරගන්න. ඒ වගේම ගායිකාවක් විදිහට රටේ තවත් ඉහළට යන්න ආසයි. දවසක සිංදු කියන වෛද්‍යවරියක් වුණොත් මට මගේ ගැන සතුටු වෙන්න පුළුවන්.

ඉතින් ඇය හිතන විදිහටම සිංදු කියන වෛද්‍යවරියක් වෙන්න සුබපතන ගමන්ම අවසාන වශයෙන් ඇගෙන් අහන්නම කියලා හිත බලකරපු ප්‍රශ්නයකින්ම අපේ කතාබහ අවසන් කරන්න හිතුණා. ඒ තමයි තරුණියක් වුණාම ආඩම්බර වෙන එක හොඳද නැද්ද කියලා. ඒකට ඇය කට කොණකින් හිනාවෙලා දුන්නේ මෙන්න මෙහෙම උත්තරයක්.

ගෑනු ළමයෙක් පොඩ්ඩක් ආඩම්බර වුණාට කමක් නෑ. හැබැයි අහංකාර වෙන්න හොඳ නෑ. ආඩම්බරකම ගෑනු ළමයෙකුට පුංචි ආභරණයක් වුණාට අහංකාරකම ගෑනු ළමයෙකුට හරි කැතයි.

 

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප සමන් අබේසිරිවර්ධන