විශේෂාංග

පිඹුරන්ට තහනම්ද ගැහැනුන්ට කඹුරන්න?

කැත්‍රින් බොයිඩ් කියන නම තරමක් නුහුරු වුණත් සොරීටා කියන නම නම් අපිට නුපුරුදු නෑ. මොකද සොරීටා’ (Zorita) කියන්නේ ඇමෙරිකාවේ හිටපු ලෝකප්‍රකට මෙන්ම අතිදක්ෂ නර්ථන ශිල්පිනියක්. හැබැයි ඇගේ ප්‍රසිද්ධියට බලපෑවේ නර්ථනයම විතරක් නෙවෙයි. ඒකට ඇගේ සුරතලුන් දෙදෙනාත් බලපෑවා. සාමාන්‍යයෙන් සුරතලුන් කියලා අපි ඇති කරන්නේ බල්ලෝ, පූසෝ, හාවෝ වුණාට ඇය ඇතිකළේ පිඹුරන් දෙදෙනෙක්. ඒ නිසාම ගොඩාක් අය සොරීටව හැඳින්වුවේ සර්ප සුරූපිනිය කියලා. ඉතින් පිඹුරොත් එක්ක මිතුරුවෙලා අමුතු නැටුම් නටපු සොරීටාගේ කතාවයි මේ කියන්න යන්නේ

ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරය. එදා කාගේත් ඇස් යොමුවෙලා තිබුණේ නගරයේ ඇවිදිමින් හිටපු හැඩකාර තරුණියක් වෙතට. ඈ ගැන ලොකුවටම උනන්දු වුණේ පිරිමි උදවිය කිව්වොත් හරි. ඒ උනන්දුව කොච්චරක්ද කිව්වොත් සමහරු යන්න ආපු ගමන පවා අමතක කරලයි ඇගේ දිහා බලාගෙන හිටියේ. ඒ අතරේ ඇගේ පෙනුමට වහවැටිලා ඇය දිව්‍යංගනාවක් කියපු අයත් නොහිටියාම නෙවෙයි.

ඔහොම ටික දුරක් ඇවිදන් ගියපු තරුණිය එක්වරම තමන්ගේ ගමන් මල්ලෙන් විශාල පිඹුරෙක් ඇදලා ගත්තා. ඊටපස්සේ ඇය තමන්ගේ ගමන් බිමන් ගියේ ඒ විශාල පිඹුරව සුරතලෙක් ලෙස ලණුවකින් ගැටගහගෙන. නිව්යෝර්ක් නගරයේ වීදියක් වීදියක් ගානේ පිඹුරෙක් එක්ක යන මේ හැඩකාරිය කවුද කියන එක කාටත් ප්‍රශ්නයක් වුණා. පස්සේ තමයි කවුරු කවුරුත් දැනගත්තේ ඇය ‘සොරීටා’ (Zorita) නම් වූ නිරුවත් නර්තන ශිල්පිනියක බව.

සොරීටා උපත ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ යන්ග්ස් ටවුන්වල. ඒ 1915 අගෝස්තු 30 වැනිදා. ඇගේ මුල් නම ‘කැත්‍රින් බොයිඩ්. මව විසින් ඇයව අතහැර දැමූ නිසා අනාථ නිවාසයකයි ඇගේ බිළිඳු විය ගෙවුණේ. පසුව කැත්‍රින්ව වෙනත් දෙමව්පියන් යුවලක් විසින් දරුකමට හදාගත් බව සඳහන්. කුඩා කාලයේ පටන්ම රූපයෙන් පිරිපුන් ඇය නර්ථනයට දක්ෂ තරුණියක් වුණා. ඒ නිසා දවසක් ඇගේ මිතුරෙක් ඇයට අපූරු යෝජනාවක් කළා. ඒ රාත්‍රී සමාජ ශාලාවක නිරුවත් නර්ථන ශිල්පිනියක ලෙස නර්ථනයේ යෙදෙන්න.

ඒ වෙනකොට කැත්‍රින්ට වැඩි වයසක් නෑ. ඇගේ වයස අවුරුදු 17ක්. දිනක් ඇය අදාළ සමාජ ශාලාවේ නර්ථනයේ යෙදෙද්දි හරි අපූරු මිතුරෙක් මුණගැහුනා. ඔහු සර්පයන් ඇති කරන්නෙක්. ඇගේ නර්ථනය ගැන ඇතිවුණු කැමැත්ත නිසා කැත්‍රින්ට විශාල පිඹුරන් දෙදෙනෙක් තෑගි කරන්න ඔහු කටයුතු කළා. සාමාන්‍යයෙන් තරුණියන්, සර්පයින් පිළිකුල් කරත් කැත්‍රින් එහෙම කළේ නෑ. ඇය ඔවුන් දෙදෙනාව අරගෙන හුරතලේට හදාගත්තා. ඒ විතරක් නෙවෙයි ‘ඔස්කා’ (Oscar) සහ ‘එල්වා’ (Elva) කියලා නම් දෙකකුත් දැම්මා. එතැන් පටන් ඇය සමාජ ශාලාවේ නර්ථනයේ යෙදුනේ මේ අමුත්තන් දෙදෙනත් එක්ක. කැත්‍රින් තමන්ගේ නම ‘සොරීටා’ ලෙසින් වෙනස් කරගත්තෙත් ඔය අතරමයි.

1935 වසර කියන්නේ ඇගේ නර්ථනය ගැන රටම කතා කරන්න පටන්ගත්ත කාලයක්. එතකොට ඇගේ වයස අවුරුදු 20යි. ඒ කාලයේ තමයි සොරීටගේ නර්ථනය දකින ප්‍රකට සමාජ ශාලා හිමිකරුවෙක් ඇයට ‘Burlesque’ නම් නර්ථන ක්‍රමයක් ගැන පැහැදිලි කළේ. Burlesque කියන්නේ නිරුවත් රංගනයකට එහා ගිය කලාත්මක මෙන්ම නාට්‍යමය ස්වරූපයේ ඉගෙනීමට ඉතාමත්ම අපහසු නර්ථන ක්‍රමයක්. නමුත් උපතින් ගෙනාපු හැකියාව උඩ ඇය ඒ නර්ථන ක්‍රමය කෙටි කාලයක් තුළ ඉගෙනගත්තා. එතැන් පටන් කවුරුත් ඇයව හඳුන්වන්නේ සොරීටා නම් Burlesque නර්තන ශිල්පිනිය විදියට.

මොන නර්ථන ක්‍රමය ප්‍රගුණ කළත් ඇය තමන්ගේ පිඹුරන් දෙදෙනා නම් අමතක කළේ නෑ. ඇය එකී නර්ථනයන් සියල්ලක්ම පාහේ ඉදිරිපත් කළේ ඔවුන් සමඟින්. ඒත් 1941 අගෝස්තු 15 වැනිදා සොරීටට අත්අඩංගුවට පත්වෙන්න සිද්ධවුණා. ඒ සත්ව සංවිධාන විසින් ඇයට එරෙහිව සත්ව හිංසා පනත යටතේ පැවරූ නඩුවක් හේතුවෙන්. අත්අඩංගුවට පත්වෙන මොහොතේ පවා ඇය පිඹුරන් දෙදෙනා සමඟ සමාජ ශාලාවක නර්ථනයේ යෙදෙමින් තමයි ඉඳලා තියෙන්නේ. කෙසේ හෝ සත්ව හිංසා පනත යටතේ අවසානයේ ඇයට හය මසක සිර දඬුවමකට යටත් වෙන්නත් සිද්ධවුණා. හය මසකින් පසු ඩොලර් 1500ක ඇපයක් මත ඇයව මුදාහැරියත් නැවතත් ඇයට ඇගේ සර්ප මිතුරන් දෙදෙනා නම් හිමිවුණේ නෑ. ඊට හේතුව වුණේ අධිකරණය විසින් සර්පයන් දෙදෙනාව රාජසන්තක කිරීම. නමුත් ඇයට සර්පයින් නොමැතිව ජීවත්වෙන්න බැරිවුණා. ඒ සාංකාව නිසයි ඇය යළිත් පිඹුරෙක්ව හදාවඩාගන්නට තීරණය කළේ. ඇය අලුත් සුරතලා සමඟින් අලුත් පුරුද්දකුත් පටන්ගත්තා. ඒ සෑම දිනකම උදෑසනට නිව්යෝර්ක් නගරයේ වීදියක් වීදියක් පුරා ඇවිදපු එක.

සර්පයින් නිසාම ජනප්‍රිය වූ සොරීටා 1954 වසර වෙනකොට නර්ථනයෙන් සදහටම සමුගත්තා. පසුව 1959 වසරේදී ඇය ‘සොරීටා’ නමින් ගීතයක් එළිදැක්වීමට කටයුතු කළා. ඒ අතරවාරයේ චිත්‍රපට කිහිපයකටත් ඇය දායක වුණා. ඒ වනවිටත් ඇය නර්ථනයෙන් බොහෝ මුදල් හම්බකරගෙන තිබූ අතර සමාජ ශාලා කිහිපයකම හිමිකාරිනියක් බවටත් පත්ව සිටියා.මේ අතර ඇය විසින් පර්සියානු බළලුන් බෝ කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බවත් සඳහන්.

මිලමුදල් සැප සම්පත් අතින් අඩුවක් නොවුණද පෞද්ගලික ජීවිතය පැත්තෙන් නම් ඇගේ කතාව සුන්දර එකක් වුණේ නෑ. ඒ නිසාම ඇගේ ජීවිතයට දික්කසාද තුනක් හිමිවුණා. ඒ අතරවාරයේ ඇය සමලිංගික සබඳතා කීපයක්ද පවත්වා ගෙන ගොස් තිබූ අතර ඇයට පෙම්වතියන් කිහිපදෙනෙක් සිටි බව ප්‍රසිද්ධ රහසක්. කෙසේ හෝ අවුරුදු 86ක් ආයු වැළඳූ සොරීටා හෙවත් මේ සර්ප ගැහැනිය 2001 නොවැම්බර් 12 වැනිදා මෙලොවින් සමුගත්තා. මියයන විට ඇය ලෝක ඉතිහාසයේ ඉතාමත් ප්‍රකට මෙන්ම අතිදක්ෂ නර්තන ශිල්පිනියක් ලෙස නම් තබා තිබුණත් සොරීටා කී සැනින් අදටත් බොහෝදෙනෙක් ඇයව හඳුන්වන්නේ හුරතලයට සර්පයින් ඇතිකළ සුරූපිනිය ලෙසින්.

රුවන් එස්.සෙනවිරත්න