නවතම ප්‍රවෘත්ති

ලෝකෙට හැඩ මදි වුණාට මට ඇගේ හැඩ වැඩිත් එක්ක – මාර්ක් සකර්බර්ග්

ඒ 2003 වසරේ දිනකි. හාවඩ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සාදයක සිටි මාර්ක්ට හදිසියේම වැසිකිළි යාමට උවමනා වූවේය. වැසිකිළියක් සොයාගිය තරුණයා දුටුවේ දිගු පෝලිමක් සහිත වැසිකිළියකි. ඉතින් ඔහුත් පෝලිමට එකතු වී වාරය එනතෙක් ඉවසුවේය. 

ගැහැනු වැසිකිළිය තිබුණේ මාර්ක් සිටි තැනට පේන මානයේය. එහිද දිගු පෝලිමකි. පෝලිමේ පසුපසට වෙන්නට සිටි චීන තරුණියක් තරුණයා දෙස බලා එක්වරම සිනාසුණාය. ඒ සිනහව දැනුණේ මාර්ක්ගේ හදවතටය. ඇගෙ සරලකම මාර්ක්ගේ හිත දිනුවාය. 

“ඇගේ හිනාව දැක්කට පස්සේ  මගේ හදවත මට අපූරු දෙයක් කිව්වා. මාර්ක් ඒ ඉන්නේ ඔයාගේ අනාගත සහකාරිය.”

2012 මැයි 19 වැනිදා මාර්ක්, ‘ප්‍රිස්කිලා චෑන්’ (Priscilla Chan) නම් එම චීන තරුණියව විවාහ කරගත්තේ ඒ සිදුවීම සිදුවී නව වසරක් ගෙවුණු තැනය. විවාහ මංගල්‍යය තිබුණේ කැලිෆෝනියාවේ පැලෝ ඇල්ටෝහි පිහිටි මාර්ක්ගේ නිවසේයි. නමුත් ඒ වනවිට මාර්ක් එදා සිටි සාමාන්‍ය තරුණයා නම් නොවේ. ඒ වනවිටත් අමෙරිකාවේ ප්‍රසිද්ධම ව්‍යාපාරිකයා මෙන්ම ලෝකයේ ළාබාලතම පොහොසතා ද ඔහුය. මේ කියන මාර්ක් නම් තරුණයා වෙනින් කවුරුත් නොවේ ‘ෆේස්බුක්’ සමාජ ජාලයේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ය.

ප්‍රිස්කිලා චෑන් හාවඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. පසුව ඇය කැලිෆෝනියාවේ පෞද්ගලික පාසලක විද්‍යා ගුරුවරියක් ලෙස වසරක් සේවය කළාය. සැන් ෆ්‍රැන්සිස්කෝහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වී වෛද්‍යවරියක් වූයේ ඉන් අනතුරුවය. විවාහයෙන් පසු අවස්ථා තුනකදී ප්‍රිස්කිලා ගැබ්ගත්තත් ඒ කිසිඳු අවස්ථාවකදී ඔවුන්ට දරු සුරතල් බලන්නට වාසනාව ලැබුණේ නැත. එහෙත් 2015 වසරේදී ඔවුන් වාසනාවන්ත විය. ඔවුන්ගේ ප්‍රථම දියණිය ‘මැක්සිම්’ ය. 2017දී නැවතත් ඔවුන්ට දියණියක් ලැබුණු අතර ඇය ‘ඔගස්ටා’ ය.

එදා මෙදාතුර ලෝකයේ බොහෝ ධනවතුන්ගේ අත්ගත්තේ රූමත් ළාබාල තරුණියන්ය. එහෙත් කවුරුත් කියන්නේ ප්‍රිස්කිලා එතරම් රූමත් නැති බවය. ඒ නිසාමදෝ බොහෝ මාධ්‍ය මාර්ක්ගෙන් ඇය සමඟ විවාහවීමට හේතු විමසති. මාර්ක් විවාහ වී වසර 11ක් ගතවී තිබුණද මාධ්‍ය අසන මේ ප්‍රශ්නවල ඉවරයක් නැත. දිනක් ලෝ ප්‍රකට ‘ද ජපන් ටයිම්ස්’ (The Japan Times) පුවත්පතද මාර්ක්ගෙන් බිරිඳගේ රූපය ගැන ප්‍රශ්න අසන්නට විය. මේ ඊට මාර්ක් ලබාදී තිබුණ අපූරු පිළිතුරයි.

“මං මේ තරම් විශාල ධනයක හිමිකරුවෙක් වෙලත් එච්චර ලස්සන නැති චීන කාන්තාවක් බිරිඳ විදියට තෝරාගත්තේ ඇයි කියලා සමහරු මගෙන් නිතරම අහනවා. එහෙම අහන අයට පිළිතුරක් දෙන්න කලින් ලස්සන කාන්තාවක් කියන්නේ කවුද ලස්සන නැති කාන්තාවක් කියන්නේ කවුද කියන එක මට ටිකක් පැහැදිලි කරන්න. රූප රාජිනියෝ පවා මගේ බිරිඳ වෙන්න කැමති වෙලා තියෙනවා. බාහිරින් කොච්චර ලස්සනට පෙනුණත් ඒ කිසිම කෙනෙක්ගේ හදවත් මුහුණ තරම් ලස්සන නෑ. මගේ බිරිඳ වීමට වඩා සමාජයේ කැපීපේන්නයි ඒ අයට ඕන වුණේ. ධනවතෙකුගේ බිරිඳක් විදියට සමාජයේ ඉහළ පිළිගැනීමක් ගන්න එයාලා කැමතියි. කාන්තාවකගේ සැබෑ ලස්සන කියන්නේ හදවතට එකඟව සතුටින් සරලව ජීවත්වෙන එකට කියලයි මං හිතන්නේ. අනික බාහිර ලස්සන වයසත් එක්ක අඩුවෙනවා. හැබැයි හදවතේ ලස්සන කවදාවත් අඩුවෙන්නේ නැහැ.”

කාන්තාවකගේ ලස්සන ගැන මාධ්‍යට පැහැදිලි කර තිබූ මාර්ක් පසුව ඔහු ප්‍රිස්කිලාට කැමතිවීමට හේතු ගැනද සඳහන් කර තිබුණේ මෙලෙසය.

“කාන්තාවගේ මුහුණේ තියෙන ප්‍රකාශනය ඇගේ හදවතේ පිළිබිඹුවක්. ප්‍රිස්කිලාගේ සිනහව අදටත් මාව පුදුම කරවනවා. ඇය ගැබිනියක් වුණු දවසේ ගර්භනීභාවය නිසා ඇගේ මුහුණේ සහ සිරුරේ වෙනස්කම් වුණා. ඒත් ඇය ඒවා ගැන නොහිතා සතුටින් හිටියා. ඒ කාලේ ඇ‍යගේ සතුට මට හැමවෙලේම දැනුණා. අන්න ඒ සරලකමටයි මම කැමති. ඒ ඇතුළේ දකින ඇගේ පෙනුමටත් මම කැමතියි.”

මාර්ක් ඒ කතාව අවසන් කළේ ලෝකයේ සිටින ලස්සනම බිරිඳ ඉන්නේ තමාට යැයි ආඩම්බරයෙන් පවසමිනි.

“විවාහය කියන්නේ පාවහන් යුගලක්. ඒක කොයිතරම් තමන්ට සැපපහසුද කියලා දන්නේ ඒක පළඳින කෙනා. මං පැළඳගත්තේ මට සුවපහසුම පාවහන් යුගල. ප්‍රිස්කිලා කියන්නේ හරි උද්යෝගිමත් කාන්තාවක්. ඇය හරිම බුද්ධිමත්. ඒ වගේම නිර්භීතයි. ඊටත් වඩා හරිම ආදරණීයයි. ඒ නිසාම ඇය එක්ක ගතකරන හැම මොහොතක්ම මට ලොකු සැහැල්ලුවක් වගේම සැපපහසුවක් දැනෙනවා. ඔබට මගේ ආදරණීය බිරිඳ ඒතරම් ලස්සන නැති කාන්තාවක් වෙන්න පුළුවන්. ඒත් මට මේ ලෝකයේ ඉන්න ලස්සනම කාන්තාව ඇයයි.”

රුවන් එස්.සෙනවිරත්න