News

අංගොඩ ලොක්කාගේ දේපළ රාජසන්තකයි

ආන්දෝලනාත්මක ලෙස මරණයට පත්වූ ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ සංවිධානාත්මක අපරාධ කල්ලිය විසින් බලෙන් අත්පත් කරගත් ඉඩම්වල වටිනාකම රුපියල් කෝටි 50 කට ආසන්න බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ඊයේ (10දා) ප්‍රකාශ කළේය.

බස්නාහිර පළාතේ කොළඹ ප්‍රදේශය තුළ පර්චස් 928 ක ඉඩම් ප්‍රමාණයක් එසේ එම අපරාධ කල්ලිය විසින් නීති විරෝධී ලෙස අත්පත් කරගෙන ඇති බවද හෙතෙම සඳහන් කළේය.

එම දේපළ ඉදිරියේදී මුදල් විශුද්ධි කරන පනත යටතේ රාජසන්තක කිරීම සඳහා අවශ්‍ය නීතිමය පියවර මේ වන විට ගනිමින් පවතින බවද ඔහු අනාවරණය කළේය.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ විසින් මෙම කල්ලියේ දේපළ හා වත්කම් පිළිබඳව මේ වන විට විමර්ශන සිදු කෙ​රේ.

ලොරි රථ තුනක්, වැලි ජාවාරම් තොටුපොළක්, එම තොටුපළෙහි පාරු කිහිපයක් පොලිස් භාරයට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවද ඔහු සඳහන් කළේය. ව්‍යාජ ඔප්පු සාදමින් ඔවුන් සිදුකළ ඉඩම් කොල්ලකෑම් පිළිබඳ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ පොලිස් අධිකාරිවරයාට 0778592279 දුරකථන අංකයෙන් දන්නා තොරතුරු ලබාදිය හැකි බවද සඳහන් කළේය. අංගොඩ ලොක්කාගේ මරණය නීත්‍යනුකූලව තහවුරු කරගැනීම සඳහා මේ වන විට විදේශ කටයුතු අමාත්‍යාංශය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

ඇඟිලි සටහන් හා ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල් යොමු කර ඇති අතර එම පරීක්ෂණ සිදු කෙරෙන්නේ ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේය.

අංගොඩ ලොක්කාගේ මරණය පිළිබඳ ඉන්දියාවේ ‘හින්දු’ පුවත්පත වාර්තා කොට ඇත්තේ මළසිරුරේ අත් දෙකෙහි සහ පාදවල ඇඟිලි නිල් පැහැ වී තිබූ බවකි. එසේ විය හැක්කේ වස ශරීර ගතවීමෙන් බව එම පුවත්පත වාර්තා කොට තිබිණි.

හේමන්ත ලියනපතිරණ