අද සිට 9වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වේ
පාර්ලිමේන්තුවේ රැස්වීම් අද (06) සිට ඔක්තෝබර් 09 වැනිදා දක්වා පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
එහිදී ගනු ලැබූ තීරණයන්ට අනුව මුදල් සංශෝධන කෙටුම්පතේ දෙවන වර කියවීම සහ ආනයන සහ අපනයන (පාලන) පනතට ඉදිරිපත් කර ඇති රෙගුලාසි අද විවාදයට ගනු
ලබනු ඇත. ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා විවාදයට ගැනේ.
ඔක්තොබර් 07 වැනිදා ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම, ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම, වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවිම, විවාදයට ගනු ඇත. මෙයට අමතරව විසර්ජන පනත යටතේ වන යෝජනා 05ක්ද විවාදයට ගැනෙනු ඇත. එදින පස්වරු 4.30 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
ඔක්තෝබර් 08 වැනිදා සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විදේශ ගිවිසුම් පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇත. විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා කළ යෝජනාවකට අනුව සියළු විදේශ ගිවිසුම් පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට ආණ්ඩු පක්ෂය එකඟතාවය පල කර තිබේ. ඒ අනුව එම විවාදය පෙරවරු 11 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙනු ඇත.
ඔක්තෝබර් 09 වැනිදා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් තිදෙනෙකු පිළිබඳ ශෝක ප්රකාශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. අභාවප්රාප්ත සුරංගනී එල්ලාවල, අභාවප්රාප්ත ආර්.ආර්.ඩබ්ලිව් රාජපක්ෂ, අභාවප්රාප්ත කේ.පී සිල්වා යන මන්ත්රීවරයන් පිළිබඳව ශෝකය පලවනු ඇත.
