News

අනුමැතියෙන් තොරව මුව ආවරණ ලක්ෂ 50ක් ගෙනල්ලා

දිවයින පුරා රෝහල්වල ශල්‍ය මුව ආවරණ දෛනික අවශ්‍යතාව දෙලක්ෂ පනස් දහසක් වන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම නිසා ලක්ෂ දහයක පමණ මුව ආවරණ ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ දේශීය කර්මාන්තකරුවන් 15 දෙනාගෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය මුව ආවරණ වැඩි වශයෙන් ලබා ගැනීමට තීරණය කර ඇති බවයි. කෙසේ වෙතත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව ඇතැම් ආනයනකරුවන් මුව ආවරණ විදේශ රටවලින් ආනයනය කිරීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවද දේශීය නිෂ්පාදකයෝ පෙන්වා දෙති. එලෙස ආනයනය කළ මුව ආරවණ දේශපාලන බපලපෑම් මත වරායෙන් සහ ගුවන්තොටුපොළින් නිදහස් කර ගන්නා බව එම දේශීය නිෂ්පාදකයන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණිලි කර තිබේ. අනුමැතියකින් තොරව ගෙන්වන ලද මුව ආවරණ ලක්ෂ පනහක් පමණ මේ වන විට වරායේ සහ ගුවන්තොටුපොළේ සිර වී ඇති බවද වාර්තා වෙයි.

උදයජීව ඒකනායක