අපි හැංගිලා කිසි දෙයක් කරන්නේ නෑ
මැතිවරණ කොමිෂන් සභාවට එහි සභාපති මහින්ද දේශප්‍රිය ඊයේ (10 වැනිදා) පෙරවරුවේ පාගමනින් ඇතුළු වන අවස්ථාව වීඩියෝ සහ ඡායාරූපගත කරන විටදී, සභාපතිවරයා ඊට අකැමැත්ත පළ කළේය.
මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (10 වැනිදා) පෙරවරුවේ රැස් වී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීමට නියමිතව තිබිණි.
මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීහු ඊයේ පෙරවරුවේ සිට රාජගිරිය පිහිටි මැතිවරණ කොමිසමේ ගේට්ටුව අසලට වී සිටියේය. මාධ්‍යවේදීන් හා කවදත් හිතවත් සභාපතිවරයා ඊයේ (10 වැනිදා) සිය නිවසේ සිට මෝටර් රථයෙන් කොමිසම අසලට පැමිණියේ පෙරවරු 11.30ට පමණය.
සභාපතිවරයා පිටුපස ගේට්ටුවෙන් කොමිසමට ඇතුළු වීමට යද්දී එහි මාධ්‍යවේදියකු සිටි බැවින් ඔහු රථයෙන් බැස පාගමනින්ම සරණ පාර දිගේ පැමිණ කොමිසමට ඇතුළු විය. මාධ්‍යවේදීන් එම අවස්ථාව වීඩියෝ සහ ඡායාරූපගත කරන විටදී, කොමිසමේ ගේට්ටුව අසලදී සභාපතිවරයා මාධ්‍යවේදීන්ට ඊට සිය අප්‍රසාදය පළ කළේය.
ඔය ගොල්ලෝ මාව ෆොටෝ ගන්න එක, වීඩියෝ කරන එකේ තේරුම මොකක්ද. මැතිවරණ කොමිසම විහිළුවට ගන්න එපා. කරුණාකරලා කැමරා පල්ලෙහාට දාන්න. ඔෆ් කරන්න. පෞද්ගලික ජීවිතයක් නැද්ද. කවුද මීඩියා පාස් දෙන්නේ. නිවුස් කියන්නේ අපි යන එකයි, එන එකයි නොවෙයි.
ඔයාලා ගන්නා නිවුස් එක එඩිට් කරලා වෙන කෑල්ලක්නේ දාන්නේ. අපි හැංගිලා කිසි දෙයක් කරන්නේ නෑ. මේක ඇතුළේ හොරකම් කෙරෙන්නේ නෑ. නුවර පෙරහැර යන්නේ නෑ යැයි සභාපතිවරයා මැතිවරණ කොමිසමේ ගේට්ටුව අසල සිට කියා සිටියේය.
සාලිය කුමාර ගුණසේකර
