News

අල්ලස් ගත් පාර්ලිමේන්තු භෝජනාගාර නිලධාරියා මාට්ටු

පාර්ලිමේන්තු භෝජනාගාරයට පලතුරු සපයන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් තිස්දහස බැගින් අල්ලස් ගැනීමට ගිය පාර්ලිමේන්තු භෝජනාගාර භාණ්ඩ භාරගැනීමේ නිලධාරියා අල්ලස් කොමිසම ඊයේ (03 වැනිදා) සවස කඩුවෙලදී අත්අඩංගුවට ගත්තේය.

මෙම සිද්ධියේ පැමිණිලිකාර ව්‍යාපාරිකයාට පාර්ලිමේන්තුවේ භෝජනාගාරයට පලතුරු සැපයීමේ ටෙන්ඩරය ලැබී ඇත්තේ මෙම වසරේදීය (2020) මීට පෙර වසර 12ක්ම වෙනත් ව්‍යාපාරිකයකු ටෙන්ඩරය ලබා සිට ඇත.

තමාට මාසිකව රුපියල් තිස්දහසක් ලබානොදුනහොත් පලතුරු ගැනීම ප්‍රතික්ෂේප කර යවන බවට සැකකාර භෝජනාගාර නිලධාරියා නව ව්‍යාපාරිකයාට දන්වා ඇත.

ඒ අනුව රුපියල් තිස්දහසක අල්ලසක් මුලින් ලබාගෙන ඇති මෙම පාර්ලිමේන්තු නිලධාරියා ඉන් පසු මාසවලදී එම මුදල නොගෙවීම හේතුවෙන් ව්‍යාපාරිකයාගේ පලතුරු කිලෝග්‍රෑම් 50-60 අතර ප්‍රමාණ විටින් විට ප්‍රතික්ෂේප කර ඇත.

පලතුරු ප්‍රතික්ෂේප නොකිරීමට නම් මාස දෙකක මුදල් ගෙනැවිත් දෙන ලෙස ඉල්ලා සිටියදී ව්‍යාපාරිකයා මේ බව අල්ලස් කොමිසමට පැමිණිලි කර සැකකරු ගෙන්වා මුදල් ගනිද්දීම අල්ලා දී තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත විය.

තිස්ස රවින්ද්‍ර පෙරේරා