News

අවිධිමත් ජනාවාසවලට විධිමත් නිවාස

කොම්පඤ්ඤවීදිය දුම්රිය පටුමගේ නිවාස ඒකක 152කින් සමන්විත Lake Side Residance මහල් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් කර එය ජනතා අයිතියට පත් කිරීම නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බන්දු වික්‍රමගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) සිදු කෙරිණි.

කොළඹ නගරයේ අවිධිමත් ජනාවාසවල ජීවත් වන පවුල් සඳහා විධිමත් නිවාස ලබා දීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.

එම ස්ථානයේ තිබුණු ඉස්ලාම් පල්ලිය වෙනුවට නව ඉස්ලාම් පල්ලියක්, එහි තිබුණු ඉස්ලාම් දහම් පාසල වෙනුවට නව ඉස්ලාම් දහම් පාසලක් සහ ප්‍රජා ශාලාවක් ඉදිකර ඇති අතර සුපිරි වෙළෙඳසලක් ආදී පහසුකම්වලින්ද මෙය සමන්විත වේ.

එමෙන්ම මේ මහල් නිවාස සංකීර්ණයේ වර්ග අඩි 400, 600, 800 සහ 1000 කින් යුක්ත නිවාස ඉදිකර ඇති අතර මෙම මහල් නිවාස ව්‍යාපෘතියේ මුළු වටිනාකම රුපියල් මිලියන 1100කි.