News

ආර්ථිකයට වාසි හුදෙකලාව මිස ඇඳිරිය නොවේ

මෙරට ආර්ථිකය පුනර්ජීවනය කිරීමට නම් කොවිඩ් වසංගතය හමුවේ මින් ඉදිරියට ඇඳිරිනීතිය පැනවීමෙන් වළකින ලෙස ලංකා සේවායෝජකයන්ගේ සම්මේලනය රජයෙන් ඉල්ලා සිටී.

ඊයේ (30දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී එම සම්මේලනයේ අධ්‍යක්ෂ ජෙනරාල් කණිෂ්ක වීරසිංහ මෙම ඉල්ලීම ඉදිරිපත් කළේය.

කොවිඩ් වසංගතය හමුවේ පෞද්ගලික සමාගම් ආශ්‍රිත සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵල එළිදැක්වීමට කැඳවා තිබූ මෙම මාධ්‍ය හමුවේ දී අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ වසංගතය හේතුවෙන් රට පුරා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් රටේ පෞද්ගලික ආයතනවලින් නිල වශයෙන් තොරතුරු ලද තුනෙන් එකකම මෙහෙයුම් අත්හිටුවීමට සිදුව ඇති බවයි. එම නිසා රාජ්‍ය ආර්ථිකයට සිදුව ඇති හානිය තවමත් ගණනය කළ නොහැකි මට්ටමක පවතින බවත් මින් ඉදිරියට වයිරස ව්‍යාප්තියක් පිළිබඳ අවධානමක් පැමිණිය හොත් අදාළ තෝරාගත් ප්‍රදේශ පමණක් හුදෙකලා කිරීම මිස ඇඳිරිනීතිය පැනවීමට පියවර නොගන්නා ලෙසත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටියේය.

කෙසේ වුවත් ලොව වෙනත් රටවල් සමග සංසන්දනය කරන විට රටේ වසංගතය පාලනය කිරීමට රජය ගෙන ඇති පියවර ප්‍රශංසනීය බවද එම පියවර තවදුරටත් ඉදිරියටද ක්‍රියාත්මක කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

කොවිඩ් 19 වැනි අර්බුද කළමනාකරණය කිරීම සඳහා පවතින ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බැවින් වැටුප් ගෙවීම සහ අනෙකුත් ව්‍යවස්ථාපිත හිමිකම් යන ක්ෂේත්‍රවල පවත්නා කම්කරු නීති කඩිනමින් සංශෝධනය කළ යුතු බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහි දී පෙන්වා දුන්නේය.

•නයන තරංග ගමගේ