News

ආසාදිතයන් පරීක්ෂාවට ගිය PHIලාට වෛද්‍යවරයෙක් බැනලා එලවලා

කැබිතිගොල්ලෑව මූලික රෝහලේ සේවකයන්ට කොවිඩ් ආසාදනය වී ඇත්දැයි බැලීම සඳහා කැබිතිගොල්ලෑව මූලික රෝහලට ගිය තමන්ට එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු බැණ වදිමින් රාජකාරියට බාධා කර පලවා හැරිය බව පවසමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් අනුරාධපුර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. කේ. එදිරිසිංහ සහ කැබිතිගොල්ලෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චරින්ද ද සිල්වාට පැමිණිලි කොට තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී වෛද්‍ය චරින්ද සිල්වා සඳහන් කළේ මෙවැනි සිද්ධියක් පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් තමන්ට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

මෙම සිද්ධිය වාර්තා වීමත් සමග අනුරාධපුර වසංගත රෝග විද්‍යාඥවරයා කැබිතිගොල්ලෑව මූලික රෝහලට පැමිණ එම තත්ත්වය පාලනය කළ බව කී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තම රෝහලින් කොවිඩ් ආසාදිත සේවිකාවක් හමුවීමත් සමග මේ වන විට තමන්ද ඇතුළුව රෝහල් කාර්ය මණ්ඩලය නිරෝධායනය වෙමින් සිටින බවද කීවේය.

තිසල් තෙන්නකෝන් – සාලියපුර