News

ඇදුම් කඩේක සේවකයින් 8කට කොවිඩ්

මොනරාගල නගරයේ වෙළෙඳසලකින් කොරෝනා ආසාදිත පුද්ගලයන් අට දෙනකු හමුවීමත් සමග නගරයේ සියලු වෙළෙඳසල් වසා දමා ඇත.

මොනරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පෞද්ගලික රෙදිපිළි අලෙවිසලක සේවය කළ පුද්ගලයන් අට දෙනකුට මෙසේ කොරෝනා ආසාදිත බව ඊයේ (11 වැනිදා) පස්වරුවේ දී අනාවරණය වී තිබේ.

එම රෝගීන් අට දෙනා වාර්තා වීමත් සමග මොනරාගල නගරයේ ඇති සියලුම වෙළෙඳසල් වසා තැබීමට මොනරාගල ප්‍රාදේශීය සභාව සහ මොනරාගල වෙළෙඳ සංගමය ඊයේ (11 වැනිදා) පස්වරුවේ දී පියවර ගෙන ඇත.

නගරයේ සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ කටයුතුවල වාර්තා ලැබෙන තෙක් පමණක් මෙම වෙළෙඳසල් වසා දැමීමට පියවර ගෙන ඇති බව මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්. රත්නවීර පවසයි.

වැඩිදුරටත් ‘අරුණ’ වෙත අදහස් දැක් වූ සභාපතිවරයා සඳහන් කළේ මොනරාගල කිසිදු පාසලක් වසා තැබීමට පියවර ගෙන නොමැති බවත් නගරය හෝ අවට කිසිදු හුදෙකලා කිරීමක් සිදු කර නැති බවත්ය.

නගරයේ ගමනාගමන කටයුතු ද සුපුරුදු පරිදි සිදුවේ. එහෙත් ජනතාව කඩිනමින් නගරයෙන් ඉවත් වන ආකාරය පස්වරුවේ දී දැකගන්නට ලැබිණි.

ජයන්ත වීරසේකර – වැල්ලවාය