ඇමති දයාසිරි රජයේ සේවකයන්ගෙන් කළ ඉල්ලීම
එළැඹෙන ජනවාරි පළවනදා සිට බතික් හෝ අත් යන්ත්‍රවලින් සැකසූ දේශීය ඇඟලුම් වලින් නිෂ්පාදිත ඇඳුමක් අඳින ලෙස බතික් හා අත් යන්ත්‍ර අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටී.
කර්මාන්ත සහ වෙළෙඳ අමාත්‍යංශයන්ගේ වැය ශීර්ෂ පිළිබඳ අද (04)පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ එළැඹෙන දෙසැම්බර් 25 දින රාජ්‍ය නත්තල් උත්සවය ඉතා චාම් අයුරින් පැවැත් වෙන බවත් එහිදී ප්‍රථම වතාවට කාදිනල් හිමියන් දේශීය අත් යන්ත්‍රවලින් නිමැ වූ ක්ලොග් පළඳින බවයි. තවද ලබන වසරේ පැවැත්වෙන රාජ්‍ය නිදහස් උත්සවය සඳහාද දේශීය රෙදි වලින් නිමැ වූ ජාතික කොඩියක් භාවිතා වන බවත් සෑම නිවසකම ජාතික කොඩිය සඳහා දේශීය රෙදිපිළි වලින් නිමැ වූ කොඩියක් තෝරා ගන්නා ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, බතික් හා අත් යන්ත්‍ර කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා රජය වැඩපිළිවෙල රැසක් ගෙන ඇති බවයි. එළැඹෙන අප්‍රේල් පළමු වනදා සිට මෙරටට විදේශීය නිමි ඇඳුම් ගෙන්වීම සීමා කිරීම සඳහා කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසිය.
බතික් කර්මාන්තයේ ගැටළු රාශියක් හඳුනාගෙන ඇති බවත් වසර ගණනාවක් මෙම ව්‍යාපාරය පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොවී තිබූ බවද අමාත්‍යවරයා පැහැදිළි කළේය. මේ වන විටත් ලංකාවේ බතික් කර්මාන්තයේ නියැළි කර්මාන්තකරුවන් පිළිබඳ දත්ත එක් රැස් කිරීම අමාත්‍යංශය මගින් සිදු කෙරේ. කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් බතික් කර්මාන්තයේ දී භාවිතා කරන ඩයිවල මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. එම ඩයි වර්ග ගෙන්වන ව්‍යාපාරිකයන් සමග සාකච්ඡා කර මිල පහළ දැමීම පිළිබඳව මේ වන විට අවධානය යොමු කර ඇත.
අත්යන්ත්‍ර රෙදි කර්මාන්ත ශාලා විශාල වශයෙන් කඩා වැටී සහ වසා දමා ඇති බවත් එම වෘත්තියේ නියැලූවන්ට මේ සඳහා දිරි දීමනා වක් දීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා සදහන් කළේය.
