News

ඇමති සුදර්ශිනී හදිසියේ මීගමුව බන්ධනාගාරයට

ආන්දෝලනයට තුඩුදුන් මීගමුව බන්ධනාගාරය හදිසියේ නිරීක්ෂණය කිරීමට බන්ධනාගාර ප්‍ර‍තිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍ර‍නාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (31) කටයුතු කලාය.

කිසිවෙකුට නොදන්වා රාජ්‍ය අමාත්‍යවරිය මීගමුව බන්ධනාගාරය වෙත හදිසියේ පැමිණි අතර එහිදී බන්ධනාගාරයේ කටයුතු පිළිබදව දැඩිනිරීක්ෂණයට ලක්කලාය.

බන්ධනාගාරය තුළ පවතින ඉඩ පහසුකම්, කාර්ය මණ්ඩල හිගය, සිරකරු තදබදය පිළිබදව අවධානයට ලක්කල රාජ්‍ය අමාත්‍යවරිය බන්ධනාගාරය තුළ පවතින සනීපාරක්ෂක ගැටළු පිළිබදව විශේෂ අවධානයක් යොමුකලාය.

1200ක පමණ රැදවියන් ප්‍රමාණයකට ඉඩ ඇති බන්ධනාගාරය තුළ 2400ක පමණ රැදවියන් පිරිසක් මේවන විට සිටී.මොවුන්ගෙන් වැඩිපිරිස රිමාන්ඩ් සිරකරුවන්ය.

බන්ධනාගාර රෝහළ නිරීක්ෂණය කල රාජ්‍ය අමාත්‍යතුමිය එහි පවතින හෙද කාර්ය මණ්ඩල හිගය පිළිබදව ද අවධානය යොමු කළාය.

අනතුරුව බන්ධනාගාරය තුළ ආහාර පිසීමේ කටයුතු ද නිරීක්ෂණය කිරීමට එක්වූ රාජ්‍ය ඇමතිනිය අදාල බලධාරීන්ට උපදෙස් දෙනු ලැබූවේ සනීපාරක්ෂක ගැටළු විසදාගැනීමට ඉක්මණ් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් සිරකරු තදබදය අවමකර ගැනීමට ගත හැකි වෙනත් උපායමාර්ග ඇත්දැයි සොයාබලන ලෙසත්ය.

බන්ධනාගාරය තුළ අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරන ලෙස මෙහිදී ඇය බලධාරීන්ට උපදෙස් දී තිබේ.

මෙහිදී කාන්තා රැදවියන් සමගද කතා බහ කිරීමට සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අමතක නොකලාය.