News

ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද විථි සංචාරය කෙරේ

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද (25) විථී සංචාරය කිරීමට නියමිතව තිබේ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා කියා සිටියේ 25 සිට 29 වෙනිදා දක්වා කුඹල් පෙරහැර පැවැත්වෙන අතර, 30 වනදා ප්‍රථම රන්දෝලී පෙරහැරත්, ජූලි 31 වනදා ගිනි පෑගීම සහ දියකැපීමේ මංගල්‍යය අගෝස්තු 04 වනදා පැවැත්වීමට නියමිත බවයි.

අවසන් රන්දෝලි මහා පෙරහැර නිකිණි පුන් පොහෝ දින (03) රාත්‍රියෙහි වීදි සංචාරය කිරීමට කටයුතු යොදා තිබේ.

එමෙන්ම පසුදින දහවල් පෙරහැර වීදි සංචාරය කිරීමෙන් පසු මහනුවර ජනපති මන්දිරයේ දී පෙරහැර අවසන් කිරීමේ රාජ්‍ය උත්සවය මෙවර ඉතා චාම් මුහුණුවරකින් ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙවර මහනුවර ඇසළ පෙරහැරෙහි විශේෂත්වය වනුයේ ජනතා සහභාගීත්වයකින් තොරව පැවැත්වීමයි.

රට තුළ උද්ගතව ඇති කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බව සිහිපත් කළ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ, බැතිමතුන් හට මෙවර පෙරහැර නැරඹීමේ සහ වැදපුදා ගැනීමේ අවස්ථාව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ උදා වන බවයි.