News

ඉන්දියාවෙන් එන බී ලූනු, වියළි මිරිස් අස්සේ කහත් ගෙනත්

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කරන බීලූණු සහ වියළි මිරිස් කන්ටේනර තුළ සඟවා කහ ආනයනය කිරීමේ ජාවාරමක තොරතුරු ශ්‍රී ලංකා රේගුව විසින් අනාවරණය කර තිබේ.

එක් ආනයනකරුවකු ඒ අයුරින් මෙරටට කහ කැබැලි මෙට්‍රික් ටොන් පහළොවක් ගෙනඒම පිළිබඳ සොයා ගැනීමත් සමග විමර්ශන ආරම්භ කර තිබේ.

මේ ආකාරයට තවත් ආනයනකරුවන් තහනම් කරන ලද භාණ්ඩ මෙරටට ආනයනය කර ඇත්දැයි සොයා බලන බව ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය පවසයි.

තහනම් කරන ලද භාණ්ඩ රහසිගතව ආනයනය කරන ආනයනකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු පැවැසුවේය. ශ්‍රී ලංකාවට කහ ආනයනය රජය විසින් තහනම් කර රුපියල් 750ක පාලන මිලක්ද පනවා තිබේ.

නමුත් එම පාලන මිලද ඉක්මවා රුපියල් 2500කට වැඩි මුදලකට වෙළෙඳපොළේ කහ අලෙවි කෙරේ. මෙලෙස ඉන්දියාවෙන් රහසිගත ලෙස කහ ආනයනය කිරීමෙන් අධික ලාභයක් ලැබීම ආනයනකරුවන්ගේ අපේක්ෂාව වී ඇත.

උදයජීව ඒකනායක