News

ඉන්දියාවේ එන්නත් වැඩසටහන ජනවාරියේ

ඉන්දියානු ජනතාවට කොවිඩ් එන්නත ලබා දීමේ වැඩපිළිවෙළ ලබන ජනවාරියේ ආරම්භ කිරීමට හැකි වනු ඇති බවට එරට සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් විශ්වාසය පළ කර තිබේ. එන්නත් කිහිපයක් එරට ඖෂධ පාලකවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති අතර මේ වනවිට ඒවා විශ්ලේෂණය කෙරෙමින් පවතින බව සඳහන් වේ. ඇතැම් රටවල මේ වනවිටත් ලබා දෙමින් ඇති ෆයිසර්/බයෝඑන්ටෙක් එන්නත ද මෙලෙස අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති එන්නතකි. එමෙන්ම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම එක්ව අත්හදා බැලූ එන්නත සහ ඉන්දියාවේ භාරත් බයෝටෙක් සමාගම සහ එරට වෛද්‍ය පර්‌යේෂණ කවුන්සිලය එක්ව අත්හදා බලන කොවැක්සින් නමැති එන්නත ද අනුමැතිය සඳහා යොමු කර ඇත. ඔක්ස්ෆර්ඩ්/ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ලබන්නේ සේරම් ආයතනය (Serum Institute) විසිනි. මෙම ආයතනය ලෝකයේ විශාලතම එන්නත් නිෂ්පාදන ආයතනය ලෙස සැලකේ.

ඉදිරි මාස හයක හතක කාලය තුළ ඉන්දියාවේ කෝටි 30 කට ආසන්න ජනතාවකට එන්නත ලබා දීමට හැකියාව ලැබෙනු ඇති බවට ද අමාත්‍ය වර්ධන් විශ්වාසය පළ කරයි.

සහන් වික්‍රමගේ