ඉන්දියාවේ සිට ගෙන්වූ ලොකු ලූනූ කන්ටේනරයේ කහ
ශ්රී ලංකා රේගු නිලධාරියකු රැගෙන ගිය ලොකු ලූනු මල්ලක සූක්ෂම ලෙස සඟවා තිබූ කහ කැබලි මල්ලක් සොයා ගැනීමත් සමග ජාවාරමක තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.
ඉන්දියාවේ සිට ලොකු ලූනු කන්ටේනරයක් කොළඹ වරායට ගෙන්වා තිබිණි.
මෙහි තිබූ ලොකු ලූනු මල්ලක් සිය කාරයට පටවා ගත් රේගු නිලධාරියෙක් සිය නිවසට ගොස් එය විවෘත කළේය. එවිට එම මල්ලේ තවත් මල්ලක් තිබීම පිළිබඳව ඔහු කුතුහලයට පත්ව ඇත.
ඒ අනුව සොයාබලද්දී එම මල්ලේ කහ කැබලි කිලෝග්රෑම් 5ක් තිබී හමු වී ඇත. වහාම එම මල්ල කාරයට දමා ගත් රේගු නිලධාරියා යළි සේවා ස්ථානයට පැමිණ මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එහිදී ලොකු ලූනූ අඩංගු කන්ටේනරයේ කහ කැබලි කිලෝග්රෑම් තුන්දහසක් (3000) තිබී සොයාගැනීමට හැකිවී ඇත. මෙම කහ ජාවාරම කහ ආනයන තහනමෙන් පසු දිගින් දිගටම ක්රියාත්මක වෙන බවට තොරතුරු පවතී.
මෙලෙස නීතිවිරෝධි ලෙස ගෙන්වන ලද කහ කන්ටේනර් 56ක් පමණ ශ්රී ලංකා රේගුව මේ වන විට සොයාගෙන තිබේ.
