News

ඉවතලන ආරක්ෂිත ඇඳුම් කට්ටල 10ක් පරිසරයට මුදාහැරලා

කොරෝනා ආසාදිතයන් සමීපයට යන හා අවදානම් සේවාවල නිරතවන සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් පලඳින ලද කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටල 10ක් පෙරේදා (09දා) මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දේවාලකඩේ හා මින්නේරිය ජාතික උද්‍යානයේ පිවිසුම් දොර‍ටුව අතර මාර්ගය අයිනේ දමා ගොස් තිබියදී හමු වූ බව මින්නේරිය ජාතික උද්‍යානයේ භාරකරු භාතිය මඩුගල්ල පවසයි.

මින්නේරිය ජාතික උද්‍යානය මැදින් දිවෙන පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ අයිනේ දිනපතාම පාහේ රාත්‍රී කාලයේ ගමන් ගන්නා වාහනවලින් විවිධ අපද්‍රව්‍ය හා කුණු බහාලූ මලු බැහැර කිරීම ඇතැම් පුද්ගලයන් විසින් හොර රහසේම සිදු කරති. එම තත්ත්වය නිසා වනෝද්‍යානයේ වන සතුන්ට වන හානිය අවම කර ගැනීම සඳහා සේවකයෙකු යොදවා එම කුණු හා අප ද්රව්‍ය දිනපතා ඉවත් කිරීමට කටයුතු කර තිබේ. පෙරේදා (09 වැනිදා) එම සේවකයා මාර්ගය දෙපස දමා ගොස් ඇති කැළි කසළ එකතු කරන අවස්ථාවේ මෙම කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටල 10 හමු වී ඇති බව හෙතෙම වැඩිදුරටත් කීය.

මින්නේරිය ජාතික උද්‍යානයේ පිවිසුම් දොර‍ටුව අසල 07 කණුව ආසන්නයෙන් පෙරේදා (09දා) මාර්ගය අයිනේ දමා ගිය කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටල 10ක් හමු වුණා. මේ තත්ත්වය ඉතාම කනගා‍ටුදායකයි. මොකද මෙවැනි ආරක්ෂිත ඇඳුම් කට්ටල පරිහරණය කරන්නේ කොරෝනා රෝගීන්ට සෘජුව නිරාවරණය වන පිරිස් පමණයි. ඒ සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් කියන දෙපාර්ශවය. දිනපතාම පාහේ රාත්‍රී කාලයේ පොළොන්නරුවේ පිහිටලා තිබෙන ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රෝගීන් ගෙන යාම හා සුව වූ රෝගීන් ආපසු ගෙනයාම සිදු කෙරුණේ මේ මාර්ගයෙන්. අපි සැක කරන්නේ එවැනි බස් රථයකින් හෝ ගිලන් රථයකින් හෝ මෙම කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටල පරිසරයට මුදා හරින්න ඇති කියලා. වෙනත් කවුරුවත් මේවා පරිහරණය කරන්නේ නෑ. සමහර විට ඒ බස්රථවල හරි ගිලන්රථවල හරි සේවය කරන රියැදුරන් රිය සහායකයන් වැනි පිරිස් අතින් මෙහෙම දෙයක් වුණා වෙන්නත් පුළුවන්. අපි කියන්නේ මෙවැනි අවදානම් සහගත දේවල් කිරීමෙන් වළකින්න කියලා.

මේ ගැන මොකද්ද කරන්න ඕනෑ කියලා අපේ සේවකයාට ලොකු අවබෝධයක් තිබුණේ නැති නිසා ඔහු ඒවා ස්පර්ශ කරන්න ගියේ නෑ. නමුත් අපට දැනුම් දුන්නට පස්සේ මේවා ගිනි තබා විනාශ කරන්න කටයුතු කළා. අපි මේ පිළිබඳව විශේෂඥ දැනුමක් තිබෙන අය නෙමෙයි. මේ අපද්‍රව්‍ය ඉවත දාන්නේ මේ පිළිබඳව පැහැදිලි දැනුමක් තියෙන අය. ඒ අය මේ ඉවත දැමීම නිසි ක්‍රමවේදයකට සිදු නොකළොත් කොරෝනා ව්‍යාප්ත වීම තවත් වැඩි වෙන්න පුළුවන්.” භාතිය මඩුගල්ල තවදුරටත් කරුණු පැහැදිලි කළේ එලෙසිනි.

කෙසේ වෙතත් පොළොන්නරුවේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන 4ක දින පතාම පාහේ රෝගීන් 1500කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ලබති. සුව වී පිටව යන පුද්ගලයන් හා වයිරසයට ගොදුරු වී ප්‍රතිකාර සඳහා ‍රැගෙන එන පිරිස් දිනපතාම පාහේ ‍රැගෙන එති.

මෙසේ කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටල පරිසරයට මුදාහැරීම නුසුදුසු බවට දිගින් දිගටම සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා දී තිබුණත් මෙවැනි ක්‍රියා සිදු කරන පුද්ගලයන් වැඩි වන්නේ ඇයි දැයි පොළොන්නරුවේ ජනතාව ප්‍රශ්න කරති. මීට දින දෙකකට පෙර ගිරිතලේ දියබෙදුම මාර්ගයේ කබර බෝක්කුව අසල ද මෙවැනිම අන්දමේ ඇඳුම් කට්ටල 4ක් දමා ගොස් තිබුණේ ගිරිතලේ මින්නේරිය ස්වභාව රක්ෂිතයේ මාර්ගය අයිනේය. කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය සඳහා ඉවතලන මුඛ ආවරණ ,ආරක්ෂිත ඇඳුම් කට්ටල රෝගීන් පරිහරණය කරන සියලු ද්‍රව්‍ය විනාශ කිරීමේ හා බැහැර කිරීමේ යාන්ත්‍රණය විධිමත් කළ යුතු බව ද ඔවුහු පෙන්වා දෙති.

බණ්ඩාර මුදියන්සේ – පොළොන්නරුව