AL ප්‍රතිඵල ඉක්මනින් ගන්න කෝටි 45ක් දෙයි
මෙම වර්ෂයේ සිට උසස් පෙළ විභාග පිළිතුරු පත් ඇගයීම් කරන ගුරුවරුන් වෙනුවෙන් විශේෂ දීමනාවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
එබැවින් එම දීමනාව සඳහා පමණක් අවශ්‍ය රුපියල් කෝටි හතළිස් පහක් ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ට ඊයේ (26වැනිදා) පැවසීය.
ඇගයීම් සඳහා ගුරුවරුන් වැඩිපුර යොමු කර ගනිමින් විභාග ප්‍රතිඵල මාස දෙකක් ඇතුළත නිකුත් කිරීම මෙහි අරමුණ වෙයි. ඇගයීම් සඳහා දැනට ක්‍රියාත්මක අදියර තුන දෙක දක්වා අඩු කිරීමට ද සැලසුම් කර තිබේ. වැඩිපුර ගුරුවරුන් යොමු කර ගෙන ඇගයීම් අදියර දෙක දක්වා අඩු කර ගැනීමෙන් ප්‍රතිඵල නිකුත් කිරීම කඩිනම් කළ හැකි යැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේය.
පිළිතුරු පත් ඇගයීම සඳහා අදියර තුනක් ක්‍රියාත්මක කෙරෙන්නේ ප්‍රමාණවත් පිරිසක් ඇගයීම් සඳහා යොමු නොවන නිසා බවත් විශේෂ දීමනාවක් ලබා දීමෙන් එම තත්ත්වය වළක්වා ගත හැකි වන බවත් කොමසාරිස්වරයාගේ අදහසයි. උසස් පෙළ පිළිතුර පත්‍රයක් ඇගයීම සඳහා දැනට ලබා දෙන්නේ රුපියල් 120ක් පමණක් වන අතර මෙම දීමනාව වැඩි කරන ලෙස අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තීය සමිති ද වරින් වර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර තිබිණි. ඇගයීම් කටයුතු සඳහා ගුරුවරු දහඅට දහසක පමණ පිරිසක් සම්බන්ධ වෙති.
නිලන්ත මදුරාවල
