උ.පෙළ විභාගය රියැලිටි ෂෝ එකක් බවට පත්වෙලා
උසස් පෙළ විභාගය ‘රියැලිටි ෂෝ ’ එකක් බවට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ‘අරුණ’ට ඊයේ (05 වැනිදා) පැවසීය.
දැනට තීරණය කර ඇති පරිදි සැප්තැම්බර් මස 7 වැනිදා විභාගය පැවත්වීමට එකඟ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මත විමසුමක් ආරම්භ කිරීම විහිළුවක් යැයි ද විභාග දින තීරණය කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවට ඇති අයිතිය හෑල්ලුවට ලක් නොකළ යුතු යැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.
අනෙක් අතට විභාගයට අදාළව මතයක් විමසිය යුත්තේ විභාගයට පෙනී සිටින දරුවන්ගෙන් විනා සමස්ත ජනාතාවගෙන් නොවන බව පෙන්වා දෙන ඒ මහතා අමාත්‍යාංශ වෙබ් අඩවියේ පවතින ආකාරයට ඕනෑම පුද්ගලයකුට සිය මතය ඉදිරිපත් කිරීමට පමණක් නොව එක් අයකුට ඕනෑම වාරයක් සිය මතය ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවත් සඳහන් කළේය.
වෙබ් අඩවියේ පවතින ආකාරයට විභාගයට අදාළ නියම මතය තක්සේරු කිරීමට කිසිදු හැකියාවක් නැතැයි ද එය සම්පූර්ණයෙන් ම අමාත්‍යාංශයේ අවශ්‍යතාවක් අමාත්‍යාංශයට වුවමනා ආකාරයට සපුරා ගැනීමට ගන්නා උත්සාහයක් පමණක් යැයි ද ජෝශප් ස්ටාලින් කීවේය.
විභාගය කල් දමා ගැනීමේ වුවමනාව පිටුපස පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් සිටින බව පැහැදිලි බවත් කවර හෝ අවශ්‍යතාවක් මත උසස් පෙළ විභාගය ‘රියැලිටි ෂෝ ’එකක් තත්ත්වයට පත් නොකළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.
නිලන්ත මදුරාවල
