උසස් පෙළ ගුරුවරයාට විශාඛාවට මාරුව දුන්නේ නිසි ක්‍රමවේදයට අනුව
උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍ය ගුරුවරයාට කොළඹ විශාඛා විදුහලට ස්ථාන මාරුවක් ලබා දුන්නේ ගුරුමාරු මණ්ඩලයේ හා අධ්‍යාපන ලේකම්ගේ අනුමැතිය මත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුමාරු අධ්‍යක්ෂ ධම්මිකා ජයනෙත්ති ‘අරුණ’ට ඊයේ (10 වැනිදා) පැවසුවාය.
එම ගුරුවරයා විශාඛා විදුහලට පැමිණීම සම්බන්ධයෙන් විදුහල්පතිනිය තමන්ට චෝදනා එල්ල කිරීම නිවැරදි නොවන බවත් ඇය කීවාය.
අධ්‍යක්ෂවරිය මේ බව සඳහන් කළේ එම ගුරුවරයාගේ ස්ථාන මාරුවට අදාළව විශාඛා විදුහල්පතිනී සඳමාලි අවිරුප්පොළ විසින් කරන ලද චෝදනාව පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු වශයෙනි.
ගුරුවරුන් ස්ථාන මාරු කිරීම තමන්ට තනිව කළ නොහැකි දෙයක් බවත් තමන් ක්‍රියාත්මක කරන්නේ ගුරුමාරු මණ්ඩලයේ හා ලේකම්වරයාගේ තීරණ පමණක් බවත් කී ධම්මිකා ජයනෙත්ති, විදුහල්පතිනිය චෝදනා කරන ආකාරයට එම ගුරුවරයා සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී නොමැති බවත් කීවාය. එලෙස චෝදනාවක් එල්ල වූයේ නම් ඒ පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් අමාත්‍යාංශයේ තිබිය යුතු බවත් ඇය සඳහන් කළාය.
විශාඛා විදුහලට භාර නොගත් ගුරුවරයා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (10 වැනිදා) වනතුරුත් කිසිදු තීරණයක් ගෙන නොතිබිණි. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.
මිලාගිරිය සාන්ත පාවුළු බාලිකාවේ සිට ස්ථාන මාරු ලැබූ මෙම සිංහල භාෂාව හා සාහිත්‍යය ගුරුවරයා විශාඛා විදුහලට භාර නොගත් බව ‘අරුණ’ අනාවරණය කළේ ඉකුත් 7 වැනිදාය.
නිලන්ත මදුරාවල
