News

එක්සත් රාජධානියේ සිට රැගෙන ආ ලාංකිකයෝ කටුනායකදී කෝප වෙති

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අසීරුතාවට පත්ව එක්සත් රාජධානියේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී කලහකාරී ලෙස හැසිරී තිබේ.

තමන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සූදානම් කර ඇති නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් ප්‍රමාණවත් නොවන බව පවසමින් මෙම පිරිස ඔවුන් අධීක්ෂණය කළ හමුදා සාමාජිකයන් සමග ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී උණුසුම් ලෙස වචන හුවමාරු කරගෙන ඇත.

එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් මෙරටට ගෙන්වූ 208 දෙනකුගෙන් සමන්විත මෙම පිරිසේ සිටි එක් තරුණියක කොවිඩ් – 19 රෝග ලක්ෂණ ප්‍රදර්ශනය කළ බැවින් වහාම ඇයව මීගමුව මහ රෝහලට යොමුකර ඇත.

පසුව පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළ බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි ‘අරුණ’ සමග පැවැසීය.

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විවිධ රටවල සිරව සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ ක්‍රියාවලිය ඔස්සේ මෙම පිරිස ඊයේ අලුයම මෙරටට රැගෙන එන ලදී. ඔවුන් අතුරින් පිරිසක් නිරෝධායන කටයුතු සඳහා මීගමුව ජෙට්වින්ග්, ඩොල්ෆින් හා වස්කඩුව සිට්‍රස් යන හෝටල් පරිශ්‍ර වෙත සහ අයගම තාක්ෂණික විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ස්ථාපනය කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.

මේ අතුරින් පෞද්ගලිකව වියදම් දැරීමට කැමැත්ත පළ කළ පුද්ගලයන් පමණක් දෛනිකව රු. 7500 බැගින් ගෙවීමේ පදනම මත හෝටල් පරිශ්‍රවල ස්ථාපනය කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

නයන තරංග ගමගේ