News

එච්.අයි.වී. ආසාදිත තරුණයන්ගේ වැඩිවීමක්

මෙරට එච්.අයි.වී. ආසාදිත තරුණයන්ගේ වැඩිවීමක් වාර්තා වන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන අංශය සඳහන් කළේය.

අද (1 වැනිදා)ට යෙදී ඇති ලෝක ඒඩ්ස් දිනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මේ බව සඳහන් කළාය.

මෙරට එච්.අයි.වී. ආසාදිතයන්ගෙන් සියයට දොළහක් තරුණ පිරිස බවද ඇය කීවාය.

ලෝක ඒඩ්ස් දිනයේ මෙවර තේමාව වන්නේ ‘‘ගෝලීය සහයෝගීතාව සහ හවුල් වගකීම’’ වන අතර මෙරට එච්.අයි.වී. තේමාව ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ ‘‘ලංකාවේ තාරුණ්‍යයේ වගකීම ඉටු කරමු’’ යන්නයි. තරුණයන්ගේ අනාරක්ෂිත ලිංගික හැසිරීම් මෙම කාල සීමාවේදී වැඩිවී ඇති බවත්, එම නිසා තරුණයන් එච්.අයි.වී. පරීක්ෂණ සිදු කිරීම වැදගත් බවත් වෛද්‍යවරිය සඳහන් කළාය.

මෙරට සමස්ත එච්.අයි.වී. ආසාදිතයන් සංඛ්‍යාව 2304ක් ලෙස හඳුනාගෙන ඇති බවත් සායනවලින් 1845 දෙනකු ආසාදිතයන් ලෙස ප්‍රතිකාර ලබා ගන්නා බවත් විශේෂඥවරිය පැවසුවාය.

මෙරට එච්.අයි.වී. ආසාදිතයන් ලෙස ඇස්තමේන්තුගත කර ඇති සංඛ්‍යාව 3600කි.

වරුණි පෙරමුණ