News

එන්නත් සාර්ථක වීමත් සමග තෙල් මිල ඉහළට

ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ කොවිඩ් එන්නත් කිහිපයක් අවසන් අත්හදා බැලීම්වල දී සාර්ථක ප්‍රතිඵල පෙන්වීමත් සමග තෙල් මිල ඉහළ යාමද වේගවත් වන ලකුණු පහල වී තිබේ. එන්නත් සමාජයට හඳුන්වා දීමත් සමග කොවිඩ් වසංගතය පාලනය වී ජන ජීවිතය නැවත යම් දුරකට යථා තත්ත්වයට පත් වනු ඇති බවටත්, එවිට තෙල් සඳහා වන ඉල්ලුම ඉහළ යනු ඇති බවටත් පවතින අපේක්‍ෂාවන් නිසා තෙල් මිල මේ ආකාරයෙන් වැඩි වීමට පටන්ගෙන ඇති බැව් සඳහන් වේ. පසුගිය සඳුදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සටහන්ව තිබුණේ ඇමරිකානු ඩොලර් 45.62 ක් ලෙසිනි. ඇමරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 42.94 ක් ලෙස සටහන්ව තිබිණි.

මේ අතර ලෝකයේ කලාප කිහිපයකම කොටස් මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එන්නත් පිළිබඳ විශ්වාසය වර්ධනය වීමත්, ඇමරිකාවෙහි නව ජනාධිපතිවරයකු පත්වීමට යාමත් පසුබිම් කරගෙන මේ ආකාරයෙන් කොටස් වෙළෙඳපොළ නව ජීවයක් ලබමින් සිටින බැව් සඳහන් වේ. ඇමරිකාව, යුරෝපය, ආසියාව යන කලාපවල කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල මේ ආකාරයේ වර්ධනයක් දක්නට ලැබෙන බව මාධ්‍ය වාර්තා කර තිබේ.

සහන් වික්‍රමගේ