කන්‍යා සොහොයුරියක් මැරූ පියතුමා හා කන්‍යා සොහොයුරියට ලැබුණු දඩුවම
මීට වසර තිහකට පමණ පෙර කන්යාරාමයකදී කන්‍යා සොහොයුරියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කතෝලික පූජකවරයකුට හා කන්‍යා සොහොයුරියකට ඉන්දියාවේ අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදී තිබේ.
1992 වසරේදී මෙසේ ඝාතනය වී ඇත්තේ 21 වැනි වියේ පසුවූ අභයා නමැති කන්‍යා සොහොයුරියයි. මෙම ඝාතනය සිදුකිරීම හා සාක්ෂි වසන් කිරීම යන චෝදනා මත පසුගියදා දඬුවම් ලැබූයේ තෝමස් කොට්ටූර් නම් පියතුමා සහ සෙෆී නමැති කන්‍යා සොහොයුරියයි.
එම ඝාතනය සියදිවි නසා ගැනීමක් බව පොලිසියට ඒත්තු ගැන්වීමට මෙම දෙපළ විසින් සියලු සාක්ෂි සකස් කර තිබිණි. මෙම මරණය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී මෙම දෙපළගේ අභිප්‍රාය සපථ කරමින් ලැබී ඇති සාක්ෂි මත පොලිසියේ සැකයද වූයේ මෙය සියදිවි නසා ගැනීමෙන් සිදුවූ මරණයක් වන බවය.
එහෙත් ඝාතනයට ලක්වූ කන්‍යා සෙහොයුරියගේ පවුලේ සාමාජිකයන්ගේ හා සමාජ ක්‍රියාකාරීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ සියදිවි නසා ගැනීමක් ලෙස ලඝුකොට නවතා දමා තිබූ මෙම මරණය පිළිබඳ පරීක්ෂණ විධිමත් ආකාරයෙන් සිදුකිරීමට පොලිසිය පෙලඹිණි.
එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කන්‍යාරාමයේ තෙවන පූජකයකු ලෙස කටයුතු කළ ජෝස් පුත්රික්කයිල් පියතුමා සෙෆී සමග අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ බවට ලැබුණු පැමිණිල්ලක් මත පොලිසිය විසින් 2008 දී මෙම ඝාතනයට සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන නඩු පැවරූ නමුත් එය ඔප්පු කිරීමට සාක්ෂි නොමැතිවීම නිසා අධිකරණය විසින් ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී.
අභයාගේ මළසිරුරු පොලිසියට හමුවූයේ දකුණු ඉන්දියාවේ කොටයාම්හි ශාන්ත පියුස් එක්ස් කන්‍යාරාමයේ (St. Pius X Convent) ළිඳක තිබියදීය.
පොලිසිය අධිකරණයට විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳව සාක්ෂි දෙමින් කියා සිටියේ කන්‍යා සොයුරි අභයා ඇගේ මරණයට පෙර 1992 මැයි 27 වැනිදා පාන්දර යාමයේ අවදිව වතුර ගැනීමට කන්‍යාරාමයේ මුළුතැන්ගෙයි ඇති ශීතකරණය වෙත ගොස් ඇති අතර රහසේ හමුවීමට ඒ අසලට පැමිණ සිටි කොට්ටූර් පියතුමා හා කන්‍යා සොයුරි සෙෆී දෙදෙනාට ඇය එහිදී මුණ ගැසී තිබේ. දෙදෙනාගේ මෙම රහස් හමුවීම අභය විසින් සමාජයට හෙළිකරනු ඇතැයි මතුවූ බියෙන් මොවුන් දෙදෙනා එක්වඅභය ඝාතනය කළ බව පරීක්ෂණවලදී හෙළිවූ බව පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් කරනු ලබන පොලිස් පරීක්ෂණ පිළිබඳව ඉන්දියාවේ විශාල කතාබහක් නිර්මාණය වී තිබූ අතර එම කතාබහ නිමාවට පත්කරමින් අධිකරණය පසුගිය අඟහරුවාදා සිය තීන්දුව ප්‍රකාශයට පත්කළේ මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම හා එම සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත තෝමස් කොට්ටූර් පියතුමා (69) හා කන්‍යා සොයුරි සෙෆී (55) යන අයට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදෙමිනි.
රසිත ජයවීර
