News

කරුණා​ අම්මාන්ගේ ප්‍රකාශය ජාතීන් අතර සමගිය පලුදු කරනවා-ඕමල්පේ සෝභිත හිමි

කරුණා අම්මාන්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය යුද්ධයේදී මියගිය හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් අතර නොසන්සුන්තාවක් සහ ජනවර්ග අතර භේදයක් ඇතිකරන්නක් බව පවසමින් ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති ඕමල්පේ සේභිත හිමි වැඩබලන පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කොට ඇත.

තවද කරුණාඅම්මාන්ගේ පාපොච්චාරණයට එරෙහිව රජය කටයුතු නොකළහොත් ලංකාවේ නීතිපද්ධතියට බලවත් හානියක් සිදු වන බවද උන්වහන්සේ මෙහිදී පෙන්වා දෙයි. එම පැමිණිල්ලේ මෙසේද සඳහන්ය.

ජාතික ලැයිස්තුවෙන් දෙවරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ නියෝජ්‍ය ඇමැතිකමක්ද දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති වූ හිටපු ත්‍රස්තවාදී නායකයෙක් වන කරුණාඅම්මාන් විසින් ජූනි 19දා දින අම්පාර මැතිවරණ ප්‍රචාරක රැස්වීමේදී පවසා සිටියේ අලිමංකඩ හමුදා කඳවුරේ 2000-3000ක් පමණ හමුදා සාමාජිකයන්ව තමා විසින් සමූල ඝාතනය කළ බවත්, කිලිනොච්චියේදී තවත් අය ඝාතනය කළ බවත්ය.

මෙම ප්‍රකාශය හමුදා සාමාජිකයන් සමූල ඝාතනය කිරීම පිළිබඳව පාපොච්චාරණයක් ලෙස පිළිගත හැකි බවත්, ප්‍රසිද්ධ රැස්වීමේදී මෙම ප්‍රකාශය කර ඇත්තේ ජනතාවට මෙය විකාශනය වන බව දැන දැනමය. මෙයින් ඔහුගේ චේතනාව වන්නේ තමා එක් රැයකදී මිනිසුන් 3000ක් පමණ ඝාතනය කළ හැකි පුද්ගලයෙක් බව දැන්වීමටය. අලිමංකඩ සහ වව්නියාව හමුදා කඳවුරුවලට කරුණාඅම්මාන් විසින් කළ පහරදීම් නිසා දහස් ගණනක් මරණයට පත් වූ අතර දහස් ගණනක් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව ඇති බව ​නොරහසකි.

එමෙන්ම ජීවිත පිදූ හමුදා සෙබළුන් බහුතරයක් සිංහල බෞද්ධ අය බව නොරහසකි. මේ අවස්ථාව වන විට මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් අතර වෛරයක් නොසන්සුන්තාවක් ජනවාර්ගික භේදයක් ඇතිකරවන ක්‍රියාවක් ඇතිවෙමින් පවතින බව සමාජ මතයයි. ඒ අනුව නීතියෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.