ක්‍රිස්මස් දූපතේ සරණාගත පවුලට ලංකාවට යන්න අවසර
ඔස්ට්‍රේලියාවට අයත් ක්‍රිස්මස් දූපතේ රඳවා සිටින එකම ශ්‍රී ලාංකික සරණාගත පවුලට තම රට සමග නඩු කීම අතහැර නැවත මව් රට (ශ්‍රී ලංකාවට) යන ලෙස ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැති පීටර් ඩටන් පවසා ඇත.
‘සිඩ්නි රේඩියෝ 2 ජීබී’ සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා චෝදනා කර ඇත්තේ මෙම ශ්‍රී ලාංකික පවුල දැනටමත් මෙම නඩුව හේතුවෙන් ඔස්ට්‍රේලියානු බදු ගෙවන්නන්ගේ ඩොලර් මිලියන දහයක පමණ බදු මුදලක් නිකරුණේ නාස්ති කර ඇති බවයි.
ශ්‍රී ලංකාවේදී සිය ජීවිත අනාරක්ෂිත බව පවසමින් 2012 දී සහ 2013 දී ප්‍රියා සහ නදීස් වෙන වෙනම බෝට්ටුවලින් ඔස්ට්‍රේලියාවට පැමිණ තිබේ. ඔවුන්ට කොපිකා සහ තාරුණිකා යනුවෙන් දියණියෝ දෙදෙනෙක්ද සිටිති. ක්වීන්ස්ලන්තයේ බිලෝලාහි පදිංචිව සිටි මේ පවුලේ බාල දියණිය පිටරටදී උපත ලැබූ අතර පසුව ඔවුන්ව සංක්‍රමණික නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ක්‍රිස්මස් දූපතට පිටුවහල් කරන ලදී.
මෙම පවුල වෙනුවෙන් පෙනී සිටීමට සංක්‍රමණික නීති උපදේශකයෝ රැසක් ඉදිරිපත් වූහ. ඔවුන්ගේ මැදිහත්වීමෙන් ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ඉල්ලා පැවරූ නඩුවට අනුව මේ වන විට ඔවුන් සිව්දෙනාව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම එරට අධිකරණයක් විසින් තහනම් කර තිබේ.
නයන තරංග ගමගේ
