කුරියර් පාර්සල් අතට දෙනකොට’ පාර්සලය කඩලා
භාණ්ඩ ප්‍රවාහන ආයතන හෙවත් කුරියර් සේවා ආයතන මගින් විදේශීය රටවලින් මෙරටට ලැබෙන පාර්සල්වල අඩංගු මත්පැන් බෝතල් සොරකම් කිරීමේ ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා රේගුව සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට එවන ලද පාර්සලයක තිබූ මත්පැන් බෝතල පාර්සලය ලැබෙන විට නොමැති වීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් පදනම් කර ගනිමින් විමර්ශනය ඊයේ (24 වැනිදා) ආරම්භ කරනු ලැබීය.
මෙම පාර්සලයේ තිබූ මත්පැන් බෝතල සහ බීර කෑන් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් භාරයට ගත් බව භාණ්ඩ ප්‍රවාහන ආයතනය පැමිණිලිකරුට දැනුම් දී ඇත. තමන්ට පාර්සලය ලැබෙන විට එය විවෘත කර තිබූ බවත් කිසිදු රේගු මුද්‍රාවක් නොතිබුණු බවත් පැමිණිලිකරු ප්‍රකාශ කරයි. මෙම පාර්සලයේ තිබූ මෝරතෙල් ඖෂධ බෝතල් හතරක් සඳහා රුපියල් 8000ක මුදලක් ශ්‍රී ලංකා රේගුවට ගෙවූ බව ප්‍රකාශ කරමින් භාණ්ඩ ප්‍රවාහන ආයතනය එම මුදලද තමන්ගෙන් ලබාගත් බව පැමිණිලිකරු දැනුම් දී තිබේ.
පාර්සලය සඳහා අවශ්‍ය රේගු ගාස්තු පවා ගෙවා තිබියදී මත්පැන් බෝතල් අතුරුදන්වීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන ලෙස පාර්සල් ලද පුද්ගලයා ශ්‍රී ලංකා රේගුවෙන් සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලා තිබේ.
උදයජීව ඒකනායක
