කොටුව පොලීසියේ තවත් නිලධාරීන් දෙදෙනෙක්ට කොවිඩ්
බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ සේවය කළ තවත් පොලිස් නිලධාරියෙකුට හා කාන්තා නිලධාරිනියකට කොවිඩ්-19 වෛරසය ආසාදය වී ඇති බවට තහවුරු වී තිබේ.
ආසාදිත බවට ඊයේ(20) හඳුනාගත් පොලිස් පරීක්ෂකවරයාගේ ආශ්‍රිතයන් දෙදෙනෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.
හබරාදූව නිල සෙවණ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටියදී ඔවුන් ආසාදිතයින් බව හඳුනා ගෙන ඇත.
කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පොලිස් සැරයන්වරයා කෑගල්ල, පට්ටියමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැරයන්වරිය හෙයියන්තුඩුව, පුවක්ගහලන්දපාර ප්‍රදේශයේ පදිංචිකාරියකි.
කොළඹ – කොටුව පොලිස් ස්ථාන ගොඩනැගිල්ලේ පිහිටි බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂකවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ එම ගොඩනැගිල්ලේම පිහිටි කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ද නිරෝධායනයට යොමු කිරීම හේතුවෙන් පැය කිහිපයකට කොටුව පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමන ලදි.
විෂබීජහරණ කටයුතුවලින් අනතුරුව වෙනත් පොලිස් ස්ථානවල නිලධාරීන් අනුයුක්ත කිරීමෙන් පසු අද පෙරවරු 9 සිට කොටුව පොලිස් ස්ථානය සාමාන්‍ය රාජකාරි සඳහා යළි විවෘත කර තිබේ.
