News

කොමිසමේ වාර්තාවෙන් පසු පාස්කු ප්‍රහාරයකයන්ට නඩු

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව මගින් කෙරෙන විමර්ශන අවසන් වන තෙක් ප්‍රහාරය සම්බන්ධයෙන් වෙන වෙනම නඩු පැවරීමට ගත් තීරණය ප්‍රමාද කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත. පාස්කු ප්‍රහාරය එල්ල වූ ස්ථාන අටට වෙන වෙනම නඩු පැවරීමට නීතිති දෙපාර්තමේන්තුව මීට පෙර සූදානම් විය. එහෙත් ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන මෙතෙක් අවසන් කර නොමැත. එම විමර්ශන වාර්තා සකස් කර ජනාධිපතිවරයාට යොමු කිරීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලැබීමට නියමිතය. එම විමර්ශන වාර්තාවද අධ්‍යයනය කිරීමෙන් පසු නඩු පැවරීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඊට හේතු වී ඇත්තේ දැනට නඩු පැවරීමට මුල්වී ඇති කරුණු සහ ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන වාර්තා අතර පරස්පරතා ඇති වුවහොත් නඩු පවත්වා ගෙන යාමට බාධාවක් වන බව නීතිපති දෙපාර්තමේන්තුව මගින් හඳුනා ගෙන තිබීමයි.

මහජන ආරක්ෂක අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර හා නීතිපති දප්පුලද ලිවේරා අතර සඳුදා (07) පැවැති සාකච්ඡාවේදී මේ බව අනාවරණය වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන් කරුණු පිළිබඳව අමාත්‍යවරයා කාදිනල් හිමිපාණන්ද දැනුවත් කර ඇත. එහිදී කාදිනල් හිමිපාණන් අවධාරණය කර ඇත්තේ ප්‍රහාරයේ ‘‘මහ මොළකරු’’ අත්අඩංගුවට ගන්නා ලෙසයි.

උදයජීව ඒකනායක / තිස්ස රවීන්ද්‍ර පෙරේරා