කොරෝනා අවදානම හේතුවෙන් මැතිවරණය ගැන රජය වහා තීරණයක් ගන්න
මේ වන විට රට පුරා දෙවන කොරෝනා රැල්ල පැතිරයාමේ අවදානමක් පවතින බැවින් මැතිවරණය පවත්වන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හා සාකච්ඡා කොට රජය ඉක්මන් තීරණයක් ගත යුතු බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පැවැසීය.
රට පුරා මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට අපේක්ෂකයන් මුදල් වැය කරමින් සිටින බවත් තවත් කල්ගොස් හදිසියේ මැතිවරණය කල් දැමීමට කොමිෂන් සභාව තීරණය කළහොත් එම වැයකරන මුදල් අපතේ යාමක් බවත් හෙතෙම පවසයි.
එජාපයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයන් දිරි ගැන්වීම සඳහා ඊයේ (12දා) මහනුවර ඊ.එල් සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයකදී එජාප නායකයා මේ බව පැවසුවේය.
සෞඛ්‍ය අංශ, වෘත්තිය සංගම් ඇතුළු සියලුදෙනා එක් ස්ථානයකට කැඳවා රටේ සැබෑ වාතාවරණය පිළිබඳ විධිමත් සාකච්ඡාවක් පවත්වා ඉක්මන් තීරණයක් ගත යුතුව තිබෙන බවත් තවත් කල්ගොස් මැතිවරණය කල් දැමීමට තීන්දු කළහොත් ඉන් සියලුම පක්ෂවල අපේක්ෂකයන්ට අසාධාරණයක් වන බවත් හෙතෙම කීය.
මේ වන විට කොරෝනා අවදානම වසන් කර රජය කටයුතු කරනවා. මේක ඉතාමත් භයානක තත්ත්වයක්. නැවතත් මේ කොරෝනා වසංගතය රට වෙළා ගැනීමට පෙර ඒ පිළිබඳව රටේ ජනතාව දැනුවත් කොට අවශ්‍ය කටයුතු වහාම ක්‍රියාත්මක කළ යුතුයි’’ යනුවෙන්ද හෙතෙම වැඩි දුරටත් පැවසූ අතර මහනුවර පුරපති කේසර සේනානායක, මහනුවර දිස්ත්‍රික් එජාප සභාපති චානක අයිලප්පෙරුම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
කමල් සුරවීර -මහනුවර
