කොරෝනා ආරම්භය වූහාන්වලමද?
කොරෝනා වයිරසය පැතිර යෑම ආරම්භ වූ වූහාන් නගරය පිළිබඳව පරික්ෂා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයන් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම නගරයට ලබන මාසයේදී පැමිණීමට නියමිතය. විද්‍යාඥයන් කණ්ඩායමට ජීව විද්‍යාඥයෝ පිරිසක්ද ඇතුළත් වෙති.
අන්තර්ජාතික විද්‍යාඥයන් පිරිසට වූහාන් වෙත ඇතුළුවීමට අවසර ලබාදීමට බෙයිජිං බලධාරීන් පළමුවෙන්ම අකැමැත්ත පළ කර තිබේ. ඊට අවසරය ලබා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට බීජිං බලධාරීන් සමග ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නට සිදු විණි. එම සාකච්ඡා සඳහා මාස කිහිපයක් ගත වී ඇත.
විද්‍යාඥයන් පිරිස පරීක්ෂණ පවත්වන්නේ චීනය අපරාධයක් සිදු කළාද යන්න සොයා බැලීමට නොවන බව ජර්මනියේ රොබර්ට් කොක් ආයතනයේ ෆාබියන් ලීන්ඩර්ට්ස් පවසයි. පරීක්ෂණ පැවැත්වීමෙන් සොයා බැලීමට උත්සාහ ගන්නේ සිදුවූයේ කුමක්ද යන්නය.
වයිරසය නිසා අනාගතයේදී සිදුවිය හැකි අවදානම් සහගත තත්ත්වය පිළිබඳවද සොයාබැලීමට නියමිතය. වයිරසය වූහාන් මුල් කරගෙනම ඇති වීද යන්න ගැනත් මෙම පරීක්ෂණවලදී සොයා බැලෙන බව වාර්තා වේ. පරීක්ෂණ සඳහා සති හතරක හෝ පහක කාලයක් ගතවනු ඇති බවට අනුමාන කෙරේ.
කොරෝනා වයිරසය පළමුවෙන්ම ව්‍යාප්ත වී යෑම ආරම්භ වූයේ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන්හි සතුන් විකුණන වෙළෙඳපොළකින් බවට විශ්වාසයක් ඇත. එහිදී සතුන්ගෙන් මිනිසුන්ට වයිරසය සම්ප්‍රේෂණය වූ බව සමහරුන්ගේ මතයයි. වූහාන් මධ්‍යම රෝහලේ වෛද්‍ය ලී වෙන්ලියැන්ග් පසුගිය දෙසැම්බරයේදී මේ වයිරසය ගැන අනතුරු ඇඟවීමක්ද සිදු කර තිබිණ.
ඔහු එකල පවසා තිබුණේ නව වසංගතයක් පැතිර යෑමේ අවදානමක් මතු වී ඇති බවය. අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින්නේ යැයි ඔහුට එරෙහිව චීන පොලිසිය චෝදනා කළේය. අසත්‍ය ප්‍රචාර පැතිරවීම නවත්වන මෙන් පොලිසිය ඔහුට අවවාද කළ බවද සඳහන් වේ. මෙවන් වාතාවරණයක් මධ්‍යයේ වෛද්‍ය ලී ද කොරෝනා ආසාදනය වීමෙන් පසු, පසුගිය පෙබරවාරි මාසයේදී ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා විණි.
මංජුලා විජයරත්න
