කොරෝනා ආසාදිත දැරියකට වෙනත් ආසාදිතයකුගෙන් අතවර
ඉන්දියාවේ අගනුවර දිල්ලියේ කොවිඩ් 19 නිරෝධායන මධ්‍යස්ථානයක 14 හැවිරිදි දැරියකට වෙනත් රෝගියකු විසින් ලිංගික අතවර සිදුකර ඇතිබවට චෝදනා එල්ල වී ඇත.
අදාළ චූදිතයකු සහ එහි සිදුවීම රූගත කළ බව කියන තවත් පුද්ගලයකු දිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
වින්දිත දැරිය මෙන්ම චූදිතයන් දෙදෙනා කොවිඩ් 19 ආසාදිතයන් වන නමුත් ඔවුන් මෘදු රෝග ලක්ෂණවලින් පෙළෙන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ විශාලතම කොවිඩ් 19 නිරෝධායන මධ්‍යස්ථානයෙනි. එහි ඇඳන් 10,000කින් සමන්විතය. පසුගිය ජූලි 15 වන දින සිදුවූ බව පැවසෙන අදාළ සිදුවීම ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත විසින් අනාවරණය කිරීමත් සමග චූදිතයන් අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පවසා ඇත්තේ චූදිතයන් අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති නමුත් ආසාදනයෙන් සුවය ලබන තෙක් නිරෝධායන මධ්‍යස්ථානයේ තවදුරටත් රඳවා තබන බව පොලිසිය සඳහන් කර තිබේ.
දිල්ලියේ මෙම නිරෝධායන මධ්‍යස්ථානය ලොව විශාලතම නිරෝධායන මධ්‍යස්ථානය ලෙස වාර්තා වන අතර රෝග ලක්ෂණ නොමැති හෝ මෘදු රෝග ලක්ෂණ ප්‍රදර්ශනය කරන කොවිඩ් 19 ආසාදිතයන් මෙහි රඳවා ඇත. ලක්ෂ 12කට වඩා වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් සහිතව ලොව තෙවැනියට වැඩිම කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාව බව මේ වන විට සීග්‍රයෙන් නීරෝධායන මධ්‍යස්ථාන සහ වෙන්කරනලද රෝහල් වාට්ටු ස්ථාපනය කිරීමට කටයුතු කරමින් සිටී. ඉන්දියාවේ නිරෝධායන මධ්‍යස්ථානයක මෙවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවන අතර පසුගිය සතියේ මුම්බායි නිරෝධායන මධ්‍යස්ථානයක සිටි කාන්තාවකට පහරදීමක් මෙන්ම බිහාර ප්‍රාන්තයේ පැට්නා නුවර බාලවයස්කරුවකු දූෂණයට ලක්වීමක්ද වාර්තා වී තිබේ.
නයන තරංග ගමගේ
