News

කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරියක් දිවි නසා ගනී

කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නිව්යෝර්ක් හදිසි ප්‍රතිකාර සේවාවල යෙදී සිටි වෛද්‍යවරියක් සිය දිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වර්ජිනියාවේ චාලට්ස්විල් හි පදිංචි 49 හැවිරිදි ලෝර්නා බ්‍රීන් නම් වන මෙම වෛද්‍යවරිය පසුගිය ඉරුදින (26 වැනිදා) සිය පවුලේ අය සමග කාලය ගත කරමින් සිටියදී මෙසේ සිය දිවි නසාගෙන ඇති බව චාලට්ස්විල් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කොවිඩ්-19 රෝගීන් ආසාදිත රෝගීන් වැඩි වශයෙන් පැමිණි, මැන්හැටන්හි පිහිටි නිව්යෝර්ක්, ප්‍රෙස්බිටේරියන් ඇලන් රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය බ්‍රීන් විසින් පවත්වාගෙන යනු ලැබූවකි.

ඇයගේ සිය දිවි නසාගැනීමට හේතුව පැහැදිලි නැතත් වසංගත තත්ත්වයත් සමග ඇතිවූ ආතතිය මීට හේතුවනු ඇති බව ඇගේ පවුලේ සාමාජිකයන්, පොලිසිය සහ වෛද්‍යවරු පවසයි.

මේ අතර ඇයට මානසික රෝග පිළිබඳ ඉතිහාසයක් නොමැති බවත් සිය රාජකාරිය විසින්ම ඇය මරා දමා ඇති බවත් මේ පිළබඳව අදහස් දක්වමින් ඇගේ පියා වන පිලිප් බ්‍රීන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට පවසා ඇත.

කෙසේ නමුත් පෙරටුගාමී සෞඛ්‍ය සේවා වෘත්තිකයන් මෙම වසංගතයේ මානසික හෝ ශාරීරික බලපෑම්වලින් නිදහස් නොවන බව චාලට්ස්විල් පොලිස් ප්‍රධානී රෂාල් බ්‍රැක්නිද සඳහන් කර තිබේ.

එමෙන්ම ඇය සේවය කළ රෝහලේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ඇය හදිසි ප්‍රතිකාර සේවාවලදී අභියෝගාත්මක ඉදිරියට පැමිණි, වෛද්‍ය විද්‍යාවේ ඉහළම පරමාදර්ශ ගෙන ආ වීරවරියක් ලෙස ඇයව අර්ථ ගන්වා ඇත. ඇමරිකාවේ කොවිඩ්-19 වසංගතයේ කේන්ද්‍රස්ථානය ලෙස සලකන නිව්යෝර්ක් ප්‍රාන්තය පුරා කොවිඩ්-19 රෝගයෙන් 17,300 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

ශිරන්තනි මානවඩු