කොරෝනා නිසා දරුවන්ට දියවැඩියාව
කුඩා දරුවන් තුළ දියවැඩියාව ඇති කිරීමට කොරෝනා වයිරසයට හැකියාවක් ඇත් ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට බ්‍රිතාන්‍ය පර්යේෂකයන් කණ්ඩායමකගේ අවධානය යොමුව තිබේ.
මෙහි දී ඔවුන්ගේ සැලකිල්ල යොමුවන්නේ 1 වැනි වර්ගයේ දියවැඩියාව සම්බන්ධයෙනි. එහිදී සිදුවන්නේ ඉන්සියුලින් නමැති හෝමෝනය නිපදවන අග්න්‍යාශයට යම් හානි සිදුවීමෙන් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමට නොහැකි වීමයි.
කෙනෙකුගේ රුධිරයෙහි ඇති සීනි පාලනය කරනු ලබන්නේ මෙම ඉන්සියුලින් මගිනි. ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නොමැති විට රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ යයි.
ඉහත කී බ්‍රිතාන්‍ය පර්යේෂකයන් සිය අධ්‍යයනයක් සඳහා යොදාගත් ළමුන් අතර 1 වර්ගයේ දියවැඩියා රෝගය, කොවිඩ් වසංගත කාලය තුළ දෙගුණයකින් වැඩි වී ඇති බව අනාවරණය වීමත් සමග පර්යේෂකයන්ගේ අවධානය මේ වෙත යොමු වී ඇත.
‘රෝහල් දෙකක් සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයක දී අනාවරණය වූයේ කොවිඩ් වසංගතය තදින් පැතිරෙමින් තිබූ කාලයේ මෙම රෝහල්වල ළමුන් අතර 1 වර්ගයේ දියවැඩියාව අසාමාන්‍ය ආකාරයෙන් වැඩි වීමක් සිදුව ඇති බවයි. මේ සම්බන්ධයෙන් අප වැඩි දුරටත් සොයා බැලීමක් සිදු කළා.
එහි දී පෙනී ගියේ මේ අතරින් සමහර ළමුන් ඒ වන විට කොරෝනා වයිරස ආසාදිතයන්ව සිටි බව හෝ කලින් ඔවුන්ට වයිරසය ආසාදනය වී තිබී ඇති බවයි.’ මෙම අධ්‍යයනය මෙහෙය වූ කැරන් ලොගාන් පවසා තිබිණි.
චීනයේ සහ ඉතාලියේ ඇතැම් රෝහල්වලින් ද මෙයට සමාන තත්ත්වයක් ගැන කලින් වාර්තා වී තිබූ බව ද ඔහු සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් මෙම පර්යේෂකයන් අවධාරණය කරන්නේ 1 වර්ගයේ දියවැඩියාව සහ කොරෝනා වයිරසය අතර සම්බන්ධයක් තිබේ දැයි නිශ්චිත වශයෙන්ම තීරණය කිරීම සඳහා තවදුරටත් පුළුල් වශයෙන් පර්යේෂණ සිදු කළ යුතු බවයි. නමුත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ අවධානයෙන් සිටීම වැදගත් වනු ඇති බව ද ඔවුන් පෙන්වා දී තිබේ.
සහන් වික්‍රමගේ
