කොරෝනා හොර බෙහෙතක් සාප්පුවල
කොරෝනා ප්‍රතිශක්තිකරණ වර්ධකයක් යැයි පවසන ව්‍යාජ ඖෂධයක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සාප්පුවල අලෙවිය පිණිස තබා ඇත. ‘කොරොනිල්’ යන වෙළෙඳ නාමයෙන් අලෙවි කෙරෙන එම ඖෂධය ඉන්දියාවේ නිෂ්පාදිත එකකි. එය ශාක සාර යොදාගෙන සකසන ලද ඖෂධයක් ලෙස ප්‍රකාශ කර තිබේ. ඖෂධය නිෂ්පාදනය කර තිබෙන්නේ ඉන්දියාවේ ස්ථාපිත යැයි සඳහන් පතන්ජලී ආයුර්වේද නම් ආයතනයය. නිෂ්පාදකයන් පවසන්නේ තම සමාගම නිෂ්පාදනය කරන එම බෙහෙත් පෙති ගැනීමෙන් ශ්වසන මාර්ගය ආසාදනයට ලක්වීමෙන් ආරක්ෂා විය හැකි බවකි. පතන්ජලි ආයුර්වේද ආයතනයේ නිර්මාතෘ බාබා රාම්දේව් පසුගිය ජුනි මාසයේදී මාධ්‍යයට පැවසුවේ ‘කොරොනිල්’ මගින් කොරෝනා ආසාදිතයන් සුවපත් කළ හැකි බවයි. ඖෂධය දින තුනක් භාවිත කළ විට කොරෝනා රෝගීන්ගෙන් 69%ක් සුවපත් වූ බව එම සමාගම පෙන්වා දී තිබිණ. ඖෂධය දින හතක් භාවිත කළ විට කොරෝනා රෝගීන් 100%ක්ම සුවපත් වූ බවත් සඳහන් විණ. කෙසේ වූවත් පතන්ජලී ආයුර්වේද ආයතනයේ බලධාරීහු එම ප්‍රකාශය මේ වන විට සිදු නොකරති. ඒ එසේ ප්‍රචාරය කිරීම තහනම් කිරීමට ඉන්දීය බලධාරීන් කටයුතු කළ නිසාය. නමුත් එය ශක්ති ජනක පානයක් ලෙස ඉන්දියාවේ තවදුරටත් භාවිත කළ හැකිය. පතන්ජලි ආයුර්වේද ආයතනය සඳහන් කරන කාරණය සත්‍යක්ද යන්න සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ බිර්මින්ග්හැම් විශ්වවිද්‍යාලයේදී පර්‌යේෂණ සිදු කෙරී තිබේ. සිදු කරන ලද එම පර්‌යේෂණවලින් සනාතව තිබෙන්නේ එම ඖෂධය ගැනීමෙන් එබඳු ආරක්ෂාවක් නොලැබෙන්නේ යැයි කියාය. එසේම ‘කොරොනිල්’ මගින් කොරෝනා වයිරසයෙන් ආසාදනය වීමට ආරක්ෂාවක් සැපයෙන්නේ නැති බවත් පර්‌යේෂකයෝ සඳහන් කරති. වයිරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මෛත්‍රී ශිව්කුමාර් පවසන්නේ ‘කොරොනිල්’ ඖෂධයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මත කවර බලපෑමක් ඇති කරන්නේද යන්න පැහැදිලි නොවන බවයි.
බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ වෙළෙඳ ආයතන රැසක මෙම ඖෂධය අලෙවිය පිණිස තබා ඇති නිසා පාරිභෝගිකයන් විශාල පිරිසක් ඒ කෙරෙහි විශ්වාසය තබා ඇත. හැත්තෑ අට හැවිරිදි එක් පාරිභෝගිකයකු සඳහන් කරන්නේ තමන් අවදානම් වයස් සීමාවේ සිටින බැවින් එකී ඖෂධය පානය කරන බවකි. ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන කිසිදු ඖෂධයක් එරට තුළ ලියාපදිංචි කර නොමැති බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය බලධාරීහු පවසති. මේ අතර, අනුමැතිය නොලත් ඖෂධ නිෂ්පාදන අලෙවි කරන සහ වෙළෙඳපොළට ඉදිරිපත් කරන ආයතන සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව එරට ඖෂධ සහ සෞඛ්‍ය ආරක්ෂක නිෂ්පාදන නියාමන ඒජන්සියේ බලධාරීහු අවධාරණය කරති.
මංජුලා විජයරත්න
